YouVersion Logo
Search Icon

ද්විතීය 18

18
පූජක හා ලෙවීවරුන්ගේ කොටස
1ලෙවීය පූජකයින්ට, ලෙවී ගෝත්‍රික-සියල්ලන්ට ඉශ්‍රායෙල්හි බිම් කොටසක් හෝ උරුමයක් හෝ නැත. ඔවුන් ජීවත් විය යුත්තේ, ස්වාමින්වහන්සේට ගින්නෙන් පූජා කළ පූජාවලිනි. ඔවුන්ගේ උරුමය එයයි. 2ඔවුන්ගේ සෙසු සහෝදර ජනතාව අතරේ ඔවුන්ට කිසි උරුමයක් නො ලැබේ. උන්වහන්සේ ඔවුන්ට පොරොන්දු වූ පරිදි, ඔවුන්ගේ උරුමය ස්වාමින්වහන්සේ ය.
3ගවයකු හෝ බැටළුවකු හෝ පූජා කරන ඇත්තන් පූජකයින්ට දිය යුතු කොටස, ඉදිරි ගාතය, හකු හා ආමාශයයි. 4ඔබේ ධාන්‍යයෙන්, අලුත් මිදි යුෂ හා තෙල්වලින් නාඹුල් පල ද ඔබගේ බැටළුවන්ගේ ප්‍රථම ලෝම ද ඔබ ඔවුන්ට දිය යුතු ය. 5මන්ද හැම කල්හි ස්වාමින්වහන්සේගේ නාමයෙන් සැදී පැහැදී සේවය කිරීමට, ඔබේ ගෝත්‍ර වංශ සියල්ල අතරින් ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ විසින් තෝරාගනු ලැබූවෝ මොවුහුත්, මොවුන්ගේ දරු පරපුරත් ය.
6ඉශ්‍රායෙල්හි ඔබේ නගරයක පදිංචි වී සිටි ලෙවීයයෙක් එතැන අතැර, ස්වාමින්වහන්සේ තෝරාගත් ස්ථානයට සිතේ මුළු කැමැත්තෙන් පිටත් ව එන්නේ නම්, 7ස්වාමින්වහන්සේ අබියස එහි සේවයේ නියුතු ඔහුගේ සහෝදර සියලු ලෙවීයයන් සේ, ඔහුත් ඔහුගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේගේ නාමයෙන් සේවය කරත්වා. 8පවුලේ දේපළ විකිණීමෙන් ලද මුදල් ඔහු වෙත තිබුණ ද, සෙසු අය හා සමාන පංගු කොටසක් ඔහුට ද ලැබිය යුතු ය.
පිළිකුල් සහගත අභ්‍යාස
9ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ ඔබට දෙන දේශයට ඔබ පිවිසි කල එහි වෙසෙන ජාතීන්ගේ පිළිකුල් සහගත මාර්ග අනුකරණය ඉගෙන ගැනීම නො කළ යුතු ය. 10තම පුතු හෝ දියණිය හෝ ගින්නෙහි පූජා කරන කිසිවකුත් ඔබ අතරේ නො විය යුතු ය. පේන කියන්නකු හෝ මන්තරකරුවකු, නිමිති බලන්නකු, මන්තර ගුරකු, 11හූනියම්කරුවකු, භූත-බන්ධන හෝ ආත්ම බන්ධනකරුවකු, මළවුන් සමඟ කතා කරන්නකු ඔබ අතරේ නො විය යුතු ය. 12ඒ දෑ කරන කවරකු වුව ස්වාමින්වහන්සේට පිළිකුලකි. ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ එම ජාතීන් ඔබ ඉදිරියෙන් පන්නා දමන්නේ ඔවුන්ගේ එම පිළිකුල් ක්‍රියා නිසා ය. 13ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ ඉදිරියේ ඔබ දෝෂ රහිත විය යුතු ය.
දිවැසිවරයා
14ඔබ විසින් අත්පත් කර ගනු ලබන ජාතීන් මන්තරකරුවනට හෝ පේන කියන්නන්ට සවන් දෙන නමුදු, ඔබට ඒ දෑ කිරීමට ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ අවසර දී නැත. 15ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ මා හා සමාන දිවැසිවරයකු ඔබේ ජනයා අතරින් ඔබට නැගිටුවා දෙන සේක. ඔබ ඔහුට සවන් දිය යුතු ය. 16හොරේබ්හි එක් රැස්වීමේ දවසේ, “අපේ දෙවියන්වහන්සේගේ කටහඬ යළි අසන්නටවත්, මේ මහා ගින්න යළි දකින්නටවත් අපට නො ලැබේවා! නැතහොත්, අප මියෙනු ඇතැ” යි කීමෙන් ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේගෙන් ඔබ ඉල්ලා සිටියේ එයයි.
17එවිට ස්වාමින්වහන්සේ මා ඇමතූ සේක්, “ඔවුන් කී දේ හරි. 18මම ඔවුන්ට, ඔබ හා සමාන දිවැසිවරයකු ඔවුන්ගේ සහෝදර ජනයා වෙතින් නැගිටුවා දෙන්නෙමි. මගේ වචන මම ඔහුගේ මුවෙහි තබන්නෙමි. මා ඔහුට අණ කරන හැම දේ ම ඔහු ඔවුන්ට පවසනු ඇත. 19මගේ නාමයෙන් ඒ දිවැසිවරයා පවසන මගේ වචනවලට කවරකු වුව සවන් නො දෙන්නේ නම්, මම ම ඔහුගෙන් ඊට වග උත්තර විමසන්නෙමි. 20මවිසින් අණ නො කළ දෙයක් මගේ නාමයෙන් තම හිතුමතය ලෙස පවසන දිවැසිවරයා හෝ අන් දෙවිවරුන්ගේ නාමයෙන් කතා කරන දිවැසිවරයා මරණයට පත් කළ යුතු ය.”
21ස්වාමින්වහන්සේ කතා නො කළ වචනය කවරේදැයි අප දැනගන්නේ කෙසේ දැ?” යි ඔබ, ඔබෙන් ඇසිය හැකි ය. 22ස්වාමින්වහන්සේගේ නාමයෙන් දිවැසිවරයකු පැවසූ දෙයක් සිදු නො වේ නම් හෝ ඉටු නො වේ නම්, එය ස්වාමින්වහන්සේ පැවසූ වචනය නො වේ. ඒ දිවැසිවරයා හිතුමතේට කතා කිරීමකි. ඔහුට බිය නො වන්න.

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in