YouVersion Logo
Search Icon

දානියෙල් 4

4
නෙබුකද්නෙසර් වෙතිනි
1නෙබුකද්නෙසර් රජු වෙතින්,
සියලු ජනයින් ද ජාතීන් ද භාෂාවන් ද යන මුළු පොළොවේ ම වෙසෙන්නන් වෙතයි;
වඩ වඩා ඔබට සෙත් වේවා!
2මහෝත්තම දෙවියන්වහන්සේ මා උදෙසා සිදු කළ අනුහස් ලකුණු හා පුදුම පිළිබඳව ඔබට පැවසීම සතුටකි.
3උන්වහන්සේගේ ලකුණු, කෙතරම් උතුම් ද!
උන්වහන්සේගේ හාස්කම් කෙතරම් බලවත් ද!
උන්වහන්සේගේ රාජ්‍යය සදාතනික රාජ්‍යයකි.
උන්වහන්සේගේ ආධිපත්‍යය, පරපුරින් පරපුරට පවතී.
4නෙබුකද්නෙසර් වන මම, මගේ මාලිගයේ සැනසී, සඵලවත් ව සිටියෙමි. 5මා භයගැන් වූ සිහිනයක් මම දැක්කෙමි. මගේ යහනේ මා සැතපී සිටියදී මගේ මනසේ ඇඳුණු රූප හා දර්ශන මා තැති ගැන්වී ය. 6එබැවින් එම සිහිනයේ අරුත මට පහදා දෙන පිණිස, බබිලෝනියේ සියලු ප්‍රාඥයින් මා ඉදිරියට පමුණු වන ලෙස මම අණ කළෙමි. 7මෙසේ ඉන්ද්‍රජාලිකයින් ද මන්ත්‍රකරුවන් ද කල්දිවරුන් ද නක්ෂත්‍රඥයින් ද පැමිණි කල, මම ඔවුනට සිහිනය කීවෙමි. එහෙත් එහි අරුත මට පහදා දීමට ඔවුහු අපොහොසත් වූහ. 8අන්තිමේදී දානියෙල් මා ඉදිරියට ආවේ ය. මම සිහිනය ඔහුට කීවෙමි. මගේ දෙවියන්ගේ නාමය ලෙස, බේල්ටෙෂසර් නමින් හඳුන්වන ලද මොහු තුළ ශුද්ධ දෙවිවරුන්ගේ ආත්මයාණන් වෙසෙයි.
9මම ඔහු අමතමින්, “ඉන්ද්‍රජාලිකයින්ගේ ප්‍රධානී, බේල්ටෙෂසර්, ශුද්ධ දෙවිවරුන්ගේ ආත්මයාණන් ඔබ තුළ වැඩ වෙසෙන වගත්, කිසි අභිරහසක් ඔබට අසීරු නො වන වගත් දනිමි. මා දුටු සිහිනයේ දර්ශන මේවායි. එහි අරුත් මට පහදා දෙන්න. 10මගේ යහනේ මා සැතපී සිටියදී මා දුටු දර්ශන මේවායි: මා බැලූ කල මෙන්න! මා ඉදිරියෙහි පොළොව මැද ගහක්; මහ උස ගහක්. 11ඒ ගහ විශාල ව වැඩී, ශක්තිමත් ව, එහි මුදුන ස්වර්ගයට ළඟා විණි. පොළොවේ සීමා අන්ත දක්වා ම එය දැකිය හැකි විණි. 12එහි කොළ අලංකාර විය. පල බහුල විය. සැමට ම ආහාර එහි තිබිණ. වන සත්තු ගහ යට සෙවණ ලදහ. අහස් පක්ෂීහු එහි අතුවල විසූහ. මාංශමය වූ සියල්ලෝ එයින් පෝෂණය ලදහ.
13“මගේ යහනේ සැතපී සිටිමින්, මා දුටු දර්ශනවල මා බලා සිටියදී මෙන්න! මා ඉදිරියේ මුරකරුවෙක්; ස්වර්ගයෙන් බැස එන ශුද්ධ කෙනෙක්. 14උස් හඬ නගා මොර ගැසූ ඔහු, ‘මේ ගහ කපා හෙළනු; එහි අතු රැහැ දමනු; එහි කොළ ගලවා, එහි පල විසුරුවනු; එහි සෙවණ යටින් වන සත්තු ද එහි අතු වෙතින් පක්ෂීහු ද පලා යත්වා! 15එහෙත් මුල් සහිත කඳ කොටස, යකඩ හා ලෝකඩ පට්ටමකින් බැඳ, වනයේ තෘණ අතරේ පසෙහි ම තියෙන්නට හරිනු.
“ ‘ඔහු අහසේ පින්නෙන් තෙමේවා; ඔහුගේ පංගු කොටස පොළොවේ තෘණ අතරේ වන මෘගයින් සමඟ වේවා. 16ඔහුගේ මිනිස් මනස වෙනස් කරනු ලැබ, සතකුගේ මනසක් ඔහුට දෙනු ලැබේවා. මෙසේ කාල හතක් ඔහු සම්බන්ධ ව ගෙවී ගියා වේ.
17“ ‘මෙම තීරණය මුරකරුවන් විසින් නිවේදන කරනු ලැබේ. ශුද්ධවතුන් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කරන්නේ, මානව රාජධානිවලට ඉහළින් මහෝත්තමයාණන් පරමාධිපති වගත්, උන්වහන්සේ කැමති කවරකුට වුව ඒවා දෙන වගත්, මිනිසුන් අතරේ ඉතාම පහත් කෙනකු ඒවාට පත් කරන වග ජීවත් ව සිටින්නන් දැනගන්නා පිණිස යැ’ යි පැවසී ය.
18“මෙම සිහිනය නෙබුකද්නෙසර් රජු වන මා දුටු එකයි. එම්බා බේල්ටෙෂසර්, දැන් ඔබ එහි අරුත මට කියා දෙන්න. මන්ද මට මෙහි අරුත පහදා දීමට මගේ රාජ්‍යයේ කිසිදු ප්‍රාඥයකුට පුළුවන් වුණේ නැහැ; එහෙත් ඔබට පුළුවන. මන්ද ශුද්ධ දෙවිවරුන්ගේ ආත්මය ඔබ තුළ ඇතැ” යි පැවසී ය.
සිහිනයේ අර්ථය
19බේල්ටෙෂසර් නමින් හැඳින් වූ දානියෙල් මොහොතකට බෙහෙවින් වියවුල් විය. ඔහුගේ සිතුවිලි ඔහු තැති ගැන්වී ය. එබැවින් රජු ඔහු අමතමින්, “බෙල්ටෙෂසාර්, ඒ සිහිනයට හෝ එහි අරුතට හෝ ඔබ භය ගන්වන්නට ඉඩ නො දෙන්නැ” යි කීවේ ය.
බේල්ටෙෂසර් පිළිතුරු දෙමින්, “මා ස්වාමිනි, ඒ සිහිනය ඔබේ සතුරන්ටත්, එහි අර්ථය ඔබේ එදිරිවාදීන්ටත් පමණක් අදාළ වූවා නම් යෙහෙකි! 20විශාල ව වැඩී ශක්තිමත් වූ, එහි මුඳුන ස්වර්ගයට ළඟා වූ මුළු පොළෝ කෙළවරට ම පෙනුණු, ඔබ දුටු ඒ ගහ, 21අලංකාර කොළත්, බහුල ව වූ පලත් සහිත ව සෑම සියල්ලන්ට ම ආහාර සැපයූ, වන සතුනට සෙවණ දුන්, අහස් පක්ෂීන් එහි අතුවල ජීවත් වූ ගස, 22අහෝ රජතුමනි, ඒ ඔබයි! ඔබ ශ්‍රේෂ්ඨ ව, බලවත් ව සිටී. ඔබේ ශ්‍රේෂ්ඨත්වය අහස උසට ම ළඟා වෙලා. ඔබගේ ආධිපත්‍යය පොළොවේ දුර බැහැර පෙදෙස් දක්වා ම පැතිර ගිහින්.
23“අහෝ රජතුමනි, ස්වර්ගයෙන් බැස එන ශුද්ධ කෙනකු වූ මුරකරුවකු මෙසේ කියනු ඔබ දුටුවා. ‘මේ ගස කපා දමනු; එය විනාශ කරනු. එහෙත් ගස මුල ඉතිරි කඳ කොටස එහි මුල් පසෙහි තිබියදී යකඩ හා ලෝකඩ පට්ටමකින් බැඳ, වනයේ තෘණ අතරේ තිබෙන්නට හරිනු. ඔහු අහසේ පින්නෙන් තෙමේවා! ඔහුගේ පංගු කොටස කාල හතක් පසු වන තෙක් වනයේ වන මෘගයින් අතර ඔහු වෙසේවා!’
24“අහෝ රජතුමනි, එහි අරුත මෙයයි: මගේ ස්වාමියා වූ රජුට එරෙහිව මහෝත්තමයාණන් නිකුත් කොට ඇති නියමයයි මේ. 25මිනිසුන් වෙතින් ඔබ පලවා හරිනු ලැබ, වන මෘගයින් සමඟ ජීවත් වනු ඇත. ගවයකු මෙන් ඔබ තණ කනු ඇත. අහස් පින්නෙන් ඔබ තෙමෙනු ඇත. මහෝත්තමයාණන් මිනිසුන්ගේ රාජධානිවලට ඉහළින් පරමාධිපති වගත්, උන්වහන්සේ කැමති කවර කෙනකුට වුව ඒවා දෙන වගත් ඔබ ඒත්තු ගන්නා තුරු, කාල හතක් ඔබ එසේ ගත කරනු ඇත. 26ගසේ කඳ කොටස එහි මුල් සහිත ව තිබෙන්නට හැරීමේ ආඥාවේ අරුත, ස්වර්ගය පාලනය ඔබ ඒත්තු ගත් පසු, ඔබගේ රාජ්‍යයෙහි යළි ඔබ පිහිටුවනු ලබන බවයි. 27එබැවින් රජතුමනි, මගේ උපදෙස පිළිගන්නට සතුටු වන්න. දමිටු දේ කිරීමෙන් ඔබේ පාප ද පීඩිතයිනට කරුණාව පෑමෙන් ඔබේ දුෂ්ටකම් ද අත්හරින්න. එසේ කිරීමෙන් ඇතැම් විට ඔබේ සමෘධිය දිගට ම පැවතිය හැකි වනු ඇතැ” යි පැවසී ය.
සිහිනය සැබෑවීම
28මේ සියල්ල නෙබුකද්නෙසර් රජුට සිදු විය. 29දොළොස් මසකට පසු, රජු බබිලෝනි රාජමාලිග සැඳැල්ලේ සක්මන් කරමින් සිටියදී, 30ඔහු මෙසේ පැවසී ය: “මගේ වික්‍රමාන්විත බලයෙන් හා මගේ රාජශ්‍රීයේ මහිමය සඳහා රාජකීය වාසස්ථානය කොට මා ගොඩ නැගූ මහා බබිලෝනිය නො වේ ද මේ!”
31ඒ වචන ඔහුගේ මුවින් පිටවෙද්දී ම අහසින් කටහඬක් පැමිණියේ ය. “නෙබුකද්නෙසර් රජ, ඔබ සඳහා නියෝගය මෙයයි; රාජකීය ආධිපත්‍යය ඔබෙන් ඉවත් කරන ලදී. 32මිනිසුන් වෙතින් ඔබ පලවා හරිනු ලැබ, වන මෘගයින් සමඟ ජීවත් වනු ඇත. ගවයකු මෙන් ඔබ තණ බුදිනු ඇත. මහෝත්තමයාණන් මිනිසුන්ගේ රාජධානිවලට ඉහළින් පරමාධිපති වගත්, උන්වහන්සේ කැමති කවර කෙනකුට වුව, ඒවා දෙන වගත් ඔබ ඒත්තු ගන්නා තුරු, කාල හතක් ඔබ එසේ ගත කරනු ඇතැ” යි ඉන් කියැවිණි.
33නෙබුකද්නෙසර් ගැන පවසා තිබූ දෑ විගසින් ම ඉෂ්ට වුණේ ය. ඔහු මිනිසුන් වෙතින් පලවා හරිනු ලැබ, ගවයකු මෙන් තණ කෑවේ ය. ඔහුගේ හිසකේ රාජාලියකුගේ පිහාටු මෙන් ද ඔහුගේ නිය පක්ෂියකුගේ නියපොතු මෙන් ද වැඩෙන තුරු ඔහුගේ සිරුර අහස් පින්නෙන් පෙඟුණේ ය.
34එම කල දවස් ගෙවුණු පසු, නෙබුකද්නෙසර් වන මම, ස්වර්ගය දෙසට මගේ ඇස් එසවීමි. මගේ ප්‍රකෘති සිහිය යළි මම ලදිමි. එවිට මම, මහෝත්තමයාණන්ට ප්‍රශංසා කළෙමි; සදාතනික ව වාසය කරන උන්වහන්සේට ගෞරව කළෙමි. මහිමය දුනිමි.
මන්ද උන්වහන්සේගේ ආධිපත්‍යය සදාතනික රාජාධිපත්‍යයකි.
උන්වහන්සේගේ රාජ්‍යය පරපුරින් පරපුරට පවතී.
35මිහි මත වෙසෙන සියල්ලන්
කිසි වටිනාකමක් නැති සේ සැලකේ.
ස්වර්ග සේනා අතරේ ද
පොළොවේ ජනයින් අතරේ ද
උන්වහන්සේ තමන් රිසි සේ ක්‍රියා කරන සේක.
උන්වහන්සේගේ අත නවතාලිය හැකි කෙනකු නැත.
මන්ද, “කුමක් ද ඔබ කළේ?” කියා උන්වහන්සේට කිව හැකි කෙනකු ද නැත.
36මගේ ප්‍රකෘති සිහිය යළි මා ලද අවස්ථාවේදී ම, මගේ රාජ්‍යයේ මහිමය උදෙසා රාජශ්‍රීයත්, තේජශ්‍රීයත් යළි මට ලැබිණි. මගේ උපදේශකයෝ හා වංශවත්හු මගේ ඇසුර සොයා ආහ. මගේ සිහසුනට යළි පත් කරනු ලැබ, මම පෙරටත් වඩා ශ්‍රේෂ්ඨත්වයට පත් වීමි. 37නෙබුකද්නෙසර් වන මම දැන්, ස්වර්ගයේ රජ්ජුරුවාණන්ට ප්‍රශංසා කරමි; උන්වහන්සේ උසස් කරමි; ගෞරවයට පමුණුවමි; මන්ද උන්වහන්සේ කරන හැම දෙයක් ම නිවැරදි ය; උන්වහන්සේගේ සියලු මාර්ග යුක්ති සහගත ය; උඩඟු ලෙස හැසිරෙන්නන් පහත් කරන්නට උන්වහන්සේට පුළුවන.

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in