දානියෙල් 3:13-18
දානියෙල් 3:13-18 SCV
එවිට කෝපයෙන් වියරු වූ නෙබුකද්නෙසර්, ෂද්‍රක් ද මේෂක් ද අබේද්-නෙගෝ ද ගෙනෙන්නට නියෝග කළේ ය. එබැවින් ඒ මිනිස්සු රජු ඉදිරියට පමුණු වන ලදහ. ඔවුන් ඇමතූ නෙබුකද්නෙසර්, “ඒක ඇත්ත ද! එම්බා ෂද්‍රක්, මේෂක්, අබේද්-නෙගෝ! නුඹලා මගේ දෙවිවරුන්ට සේවය කරන්නේත්, මා පිහිටූ රන් පිළිමයට නමස්කාර කරන්නේත් නැතැයි කියන එක? දැන් හොරණෑ, බටනළා, සිතාර, වීණා, මහ වීණා, නළා හා සකල සංගීත නාදය ඔබට ඇසෙන කල, මා හදා ඇති පිළිමයට බිම වැතිරී නමස්කාර කරන්නට ඔබ සූදානම් වූවොත් යෙහෙකි. එහෙත් ඔබ ඊට නමස්කාර නො කරන්නේ නම්, ඇවිළෙන ගිනි උදුනක් තුළට එවේලේ ම ඔබ හෙළා දැමේ. එවිට මගේ අතින් ඔබ මුදාලීමට සමත් දෙවියා කවුරු දැ?” යි ඇසී ය. ෂද්‍රක්, මේෂක් හා අබේද්-නෙගෝ රජුට පිළිතුරු දෙමින්, “එම්බා නෙබුකද්නෙසර්, මේ කාරණයේදී ඔබ ඉදිරියේ නිදහසට කරුණු කීමේ වුවමනාවක් අපට නැත. එසේ කරනු ලැබුවත්, ඇවිළෙන ගිනි උදුනෙන් අප ගලවා ගන්නට අප සේවය කරන අපේ දෙවියන්වහන්සේට පුළුවන. එම්බා රජ්ජුරුවනි, ඔබේ අතින් උන්වහන්සේ අප මුදාලන සේක. උන්වහන්සේ එසේ නො කළත්, අහෝ රජ්ජුරුවනි, ඔබේ දෙවිවරුන්ට අප සේවය කරන්නේ නැති වගත්, ඔබ පිහිටූ රන් පිළිමයට අප නමස්කාර කරන්නේ නැති වගත් දැනගන්න” යි කීහ.
![[From Heaven to the Hay in the Heart] Part 1 දානියෙල් 3:13-18 සිංහල කාලීන පරිවර්තනය](/_next/image?url=https%3A%2F%2Fimageproxy.youversionapi.com%2Fhttps%3A%2F%2Fs3.amazonaws.com%2Fyvplans%2F29090%2F1440x810.jpg&w=3840&q=75)




