YouVersion Logo
Search Icon

දානියෙල් 12

12
අවසන් කාලය
1“එකල්හි ඔබේ ජනයා ආරක්ෂා කරන මහ අධිපතියා වන මිකායෙල් නැගිටිනු ඇත. ජාතීන්#12:1 ජාතීන් හෙවත් ජාතියක් ලෙස පැවැත්ම ඇරඹුණු තැන් පටන් ඇරඹුණු තැන් පටන් ඒ දක්වාත් සිදු නො වූ තරමේ විපත්ති කාලයක් ඇති වන්නේ ය. එකල්හි ඔබේ ජනයා, පොතෙහි ලියැවී ඇති සියල්ලෝ, ගැලවෙනු ඇත. 2පොළොවේ ධූලියෙහි සැතපෙන සමූහයා පිබිදෙනු ඇත; ඇතමකු සදාතනික ජීවනයටත්, ඇතමකු සදාතනික පිළිකුලටත් ය. 3ප්‍රඥාවන්තයෝ ගුවන්තල දීප්තිය මෙන් ද බොහෝ දෙනකු දමිටුකමට මග පෙන්වන්නෝ තරු මෙන් සදහට, සදාතනික ව ද බබළන්නෝ ය. 4එහෙත් දානියෙල් ඔබ, පණිවුඩය වසා, අවසන් කාලය තෙක් පොත මුද්‍රා තබන්න. බොහෝ දෙනකු ඒ මේ අත යනු ඇත. දැනගැන්ම ද වර්ධනය වේ.”
5එවිට දානියෙල් වන මම බැලුවෙමි. එවිට මෙන්න! එහි මා ඉදිරියෙහි තවත් දෙදෙනෙක්! එක් කෙනකු ගං ඉවුරේ මෙගොඩ; එක් කෙනකු ඉවුරේ එගොඩ. 6හණ පිළි හැඳ, ගං ජලයට ඉහළින් සිටි මිනිසා ඇමතූ ඉන් කෙනෙක්, “මේ විස්මිත දෑ ඉටු වීමට තව කොතෙක් කල් ගත වේ දැ?” යි ඇසී ය.
7හණ පිළි හැඳ, ගං ජලයට ඉහළින් සිටි මිනිසා තම දකුණත ද වමත ද ස්වර්ගය දෙසට ඔසවා, සදහට ම වැඩ වසන තැනැන්වහන්සේ නමින් දිවුරමින්, මෙසේ කියනු මට ඇසිණි. “ඊට කාලයක් ද කාලයන් ද අඩ කාලයක් ද ගත වේ. ශුද්ධ වූ ජනයාගේ බලය බිඳිනු ලැබූ කල, මේ සියල්ල සම්පූර්ණ කෙරෙනු ඇතැ” යි පැවසී ය.
8මට එය ඇසුණු නමුත්, වැටහුනේ නැත. එබැවින් මම, “මා මැතිඳුනි, මේ සියල්ලෙහි ප්‍රතිඵලය වනු ඇත්තේ කුමක් දැ?” යි ඇසීමි.
9ඔහු පිළිතුරු දෙමින්, “දානියෙල්, ඔබ දැන් යන්න. අවසන් කාලය තෙක් පණිවුඩය වසා, මුද්‍රා තබා ඇත. 10බොහෝ දෙනකු නිර්මල වී, ශෝධනය වී පවිත්‍ර වනු ඇත. එහෙත් දුෂ්ටයින් දුෂ්ටකමෙහි ම නියැළෙනු ඇත. කිසිදු දුෂ්ටයකු වටහා ගන්නේ නැත; එහෙත් ප්‍රඥාවන්තයින් වටහා ගනු ඇත.
11“දිනපතා පූජාව අවලංගු කරනු ලැබ, බිහිසුණු පාළුව ගෙනෙන පිළිකුල පිහිටුවනු ලැබූ තැන් පටන් දවස් එක්දහස් දෙසීය අනූවක් වනු ඇත. 12අපේක්ෂාවෙන් යුතු ව බලා හිඳ, දවස් එක්දහස් තුන්සිය තිස්පහක කෙළවරට ළඟා වන්නා භාග්‍යවත් ය.
13“දැන් ඔබ අවසානය දක්වා ගමන් යන්න. ඔබ විවේකයට පිවිසෙනු ඇත. පසුව, ඔබට වෙන් කරන ලද උරුමය ලබන්නට අවසාන දවස්හි ඔබ නැගිටිනු ඇතැ” යි පැවසී ය.

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in