YouVersion Logo
Search Icon

දානියෙල් 1:11-21

දානියෙල් 1:11-21 SCV

පසුව දානියෙල්, හනනියා, මිෂායෙල් හා අසරියා සම්බන්ධ ව ප්‍රධාන නිලධාරී විසින් පත් කරන ලද භාරකාර නිලධාරී ඇමතූ දානියෙල්, “කරුණාකර, ඔබේ සේවක අප දහ දවසක් පරීක්ෂා කර බලන්න; අපට ආහාර වශයෙන් එළවළුත්, පානයට වතුරත් පමණක් දෙන්න. ඉන්පසු අපගේ ස්වභාව, රාජ භෝජන වළඳන තරුණයින්ගේ ස්වභාව හා සසඳා බලා, ඔබට පෙනෙන දේට අනුකූලව අප ගැන කටයුතු කරන්නැ” යි ඉල්ලී ය. එබැවින් ඊට එකඟ වූ ඔහු දහ දවසක් ඔවුන් පරීක්ෂා කළේ ය. දස දවස කෙළවරදී මොවුන්, රාජ භෝජන වැළඳූ අන් කවර තරුණයකුටත් වඩා සෞඛ්‍ය සම්පන්න ව පුෂ්ටිමත් ව සිටිනු පෙනිණි. එබැවින් ඔවුනට නියමිත ප්‍රණීත ආහාර හා ඔවුන්ගේ පානයට නියමිත මිදි යුෂ ඉවත් කළ භාරකාර නිලධාරී ඒ වෙනුවට ඔවුනට එළවළු දුන්නේ ය. මෙම තරුණයින් සිවුදෙනාට දෙවියන්වහන්සේ, සාහිත්‍යයේ හා ශිල්ප ශාස්ත්‍රයේ හැම අංගයක් ගැන ම දැනුමත්, ප්‍රඥාවත් දුන් සේක. තවද සියලු ආකාර දර්ශන හා ස්වප්න පිළිබඳ වැටහීමක් දානියෙල්ට තිබිණි. ඔවුන් කැඳවීමට රජු නියම කළ කාලය සම්පූර්ණ වූ කල, ප්‍රධාන නිලධාරී ඔවුන් නෙබුකද්නෙසර් ඉදිරියට පැමිණ වී ය. රජු ඔවුන් සමඟ කතා බහ කළේ ය. ඔවුන් සියල්ලන් අතරේ දානියෙල් ද හනනියා ද මිෂායෙල් ද අසරියා ද හා සමාන කිසිවකුත් හමු වූයේ නැත. එබැවින් ඔවුහු රජු ඉදිරියෙහි වූහ. ප්‍රඥාව හා අවබෝධය පිළිබඳව රජු ප්‍රශ්න කළ හැම කරුණකදී ම ඔහුගේ රාජධානියේ වූ සියලු ඉන්ද්‍රජාලිකයින්ට හා මන්ත්‍රකරුවනට වඩා දස ගුණයක් ඔවුන් සමත් බැව් රජු දැනගත්තේ ය. කෝරෙෂ් රජුගේ පළමු වසර දක්වා දානියෙල් එහි සිටියේ ය.

Free Reading Plans and Devotionals related to දානියෙල් 1:11-21