YouVersion Logo
Search Icon

කොලොස්සි 4

4
1හාම්පුතුනි, ඔබටත් හාම්පුතකු ස්වර්ගයෙහි සිටිනා වග දැන, ඔබගේ දාස දාසීනට යුතු ලෙසත්, සාධාරණ ලෙසත් සලකන්න.
තවත් උපදෙස්
2ස්තුතිවන්තකමින් යුතු ව සිහි බුද්ධියෙන් දිගට ම යාච්ඤාවේ නිරත වන්න. 3මා සිර-බැඳුම් ලැබීමට හේතු වූ ක්‍රිස්තුස්වහන්සේ පිළිබඳ අබිරහස ප්‍රකාශ කෙරෙන පණිවුඩයේ වචනය ප්‍රකාශ කරන්නට හැකි වන ලෙස දෙවියන්වහන්සේ අපට දොරක් ඇර දෙන පිණිස, අප උදෙසාත් යාච්ඤා කරන්න. 4කළ යුතු පරිදි පැහැදිලි ව එය ප්‍රකාශ කරන්නට මට හැකි වනු පිණිස යාච්ඤා කරන්න. 5කාලය ඉතා හොඳින් පාවිච්චි කරමින්, පිටස්තර අය සමඟ කටයුතු කිරීමේදී නැණවත් ව ක්‍රියා කරන්න. 6ඔබගේ කතා බහ නිතර ම දයාන්විත ව, ලුණෙන් රසවත් ව තිබේවා. එවිට කවරකුට වුව සුදුසු පරිදි පිළිතුරු දෙන්නට ඔබට හැකි වෙයි.
අවසන් සුබ පැතුම්
7මා ගැන සියලු තොරතුරු තුකිකස් ඔබට දන්වනු ඇත. ප්‍රේමණීය සහෝදරයකු හා විශ්වසනීය සේවකයකු වන ඔහු ස්වාමින්වහන්සේ තුළ හවුල් දාසයෙක් ද වෙයි. 8මා ඔබ වෙත ඔහු එවන්නේ අපගේ තොරතුරු ඔබ දැනගන්නා පිණිසත්, ඔබ හදවත් ධෛර්යවත් කරන්නටත් යන අරමුණින් ම ය. 9ඔහු එන්නේ, ඔබේ ම කෙනකු වූ අපගේ විශ්වසනීය, ප්‍රේමණීය සහෝදර ඔනේසිමස් සමඟ ය. මෙහි හැම දෙයක් ගැන ම ඔවුන් ඔබට පවසනු ඇත.
10මා හා සිරගත ව සිටින අරිස්තාර්කස් ඔබට ආචාර කරයි. බාර්ණබස්ගේ ඥාති සහෝදර මාර්ක් ද ඔබට ආචාර කරයි. මාර්ක් ඔබ වෙත පැමිණියහොත්, ඔහු සාදරයෙන් පිළිගන්න. ඔහු ගැන දැනටමත් ඔබට උපදෙස් ලැබී තිබේ.
11යුස්තස් නම් ලත් යේසුස් ද ඔබට ආචාර කරයි. දෙවියන්වහන්සේගේ රාජ්‍යය උදෙසා මා හා සේවය කරන්නන් අතරේ සිටින චර්මඡේදිතයෝ ඔවුහු පමණෙකි. සැබවින් ම ඔවුන් මට මහත් සැනසිල්ලකි.
12ඔබගෙන් කෙනකු වූ ද ක්‍රිස්තුස් යේසුස්වහන්සේගේ දාසයකු වූ ද එපප්‍රස් ඔබට ආචාර කරයි. දෙවියන්වහන්සේගේ මුළු කැමැත්ත තුළ පරිණත ව, මුළුමනින් ම නිසැක ව ඔබ ස්ථිර ව සිටින පිණිස, ඔහු ඔබ උදෙසා මහත් පරිශ්‍රමයෙන් නිරතුරු යාච්ඤා කරයි. 13ඔබ උදෙසාත්, ලවොදිකයේ හා හියරපොලිසෙහි අය උදෙසාත් ඔහු බොහෝ වෙහෙසෙන වගට මම සාක්ෂි වෙමි.
14අපගේ ප්‍රේමණීය මිත්‍ර වෛද්‍ය ලූක් හා දේමස් ඔබට ආචාර කරති.
15ලවොදිකයෙහි සහෝදරයින්ටත්, නිම්පාටත්, ඇගේ නිවසෙහි රැස් වන සභාවටත් මගේ ආචාරය දන්වන්න.
16මෙම ලිපිය ඔබ අතරේ කියවූ පසු ලවොදිකයේ සභාවේදී ද කියවන්න. එසේ ම, ලවොදිකයන්ගේ ලිපිය ඔබ අතරෙහි කියවන්න.
17“ස්වාමින්වහන්සේ ඔබට පැවරූ වැඩ කොටස සම්පූර්ණ කරන්නට වග බලා ගන්නැ” යි අර්කිපස්ට කියන්න.
18පාවුල් වන මගේ ම අතින් මේ ආචාරය ලියමි. මා බැඳි සිර-බැඳුම් ගැන සිහි කරන්න. අනුග්‍රහය ඔබ සමඟ පවතීවා!

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in