කොලොස්සි 4:7-13
කොලොස්සි 4:7-13 SCV
මා ගැන සියලු තොරතුරු තුකිකස් ඔබට දන්වනු ඇත. ප්‍රේමණීය සහෝදරයකු හා විශ්වසනීය සේවකයකු වන ඔහු ස්වාමින්වහන්සේ තුළ හවුල් දාසයෙක් ද වෙයි. මා ඔබ වෙත ඔහු එවන්නේ අපගේ තොරතුරු ඔබ දැනගන්නා පිණිසත්, ඔබ හදවත් ධෛර්යවත් කරන්නටත් යන අරමුණින් ම ය. ඔහු එන්නේ, ඔබේ ම කෙනකු වූ අපගේ විශ්වසනීය, ප්‍රේමණීය සහෝදර ඔනේසිමස් සමඟ ය. මෙහි හැම දෙයක් ගැන ම ඔවුන් ඔබට පවසනු ඇත. මා හා සිරගත ව සිටින අරිස්තාර්කස් ඔබට ආචාර කරයි. බාර්ණබස්ගේ ඥාති සහෝදර මාර්ක් ද ඔබට ආචාර කරයි. මාර්ක් ඔබ වෙත පැමිණියහොත්, ඔහු සාදරයෙන් පිළිගන්න. ඔහු ගැන දැනටමත් ඔබට උපදෙස් ලැබී තිබේ. යුස්තස් නම් ලත් යේසුස් ද ඔබට ආචාර කරයි. දෙවියන්වහන්සේගේ රාජ්‍යය උදෙසා මා හා සේවය කරන්නන් අතරේ සිටින චර්මඡේදිතයෝ ඔවුහු පමණෙකි. සැබවින් ම ඔවුන් මට මහත් සැනසිල්ලකි. ඔබගෙන් කෙනකු වූ ද ක්‍රිස්තුස් යේසුස්වහන්සේගේ දාසයකු වූ ද එපප්‍රස් ඔබට ආචාර කරයි. දෙවියන්වහන්සේගේ මුළු කැමැත්ත තුළ පරිණත ව, මුළුමනින් ම නිසැක ව ඔබ ස්ථිර ව සිටින පිණිස, ඔහු ඔබ උදෙසා මහත් පරිශ්‍රමයෙන් නිරතුරු යාච්ඤා කරයි. ඔබ උදෙසාත්, ලවොදිකයේ හා හියරපොලිසෙහි අය උදෙසාත් ඔහු බොහෝ වෙහෙසෙන වගට මම සාක්ෂි වෙමි.





