කොලොස්සි 1:21-29
කොලොස්සි 1:21-29 SCV
කලක් ඔබත් දෙවියන්වහන්සේට පිටස්තරයින් ව, නපුර කිරීමෙන් ඔබේ සිතින් උන්වහන්සේගේ සතුරන් ව සිටියහ. එහෙත් දැන් ක්‍රිස්තුස්වහන්සේගේ මාංසික ශරීරයේ මරණය මගින් දෙවියන්වහන්සේ, තමන්වහන්සේ සමඟ ඔබ සමඟි කර ගෙන ඇත්තේ, තමන්වහන්සේගේ ඇස් හමුවේ ඔබ ශුද්ධ ව, නො කැළැල් ව, නිදොස් ව පිළිගැන්වෙනු පිණිස ය. එසේ වන්නේ ඔබ ඇදහිල්ලේ තහවුරු වී, ස්ථාවර වී, අඛණ්ඩ ව එහි පැවත, ශුභාරංචියේ බලාපොරොත්තුවෙන් බැහැර නො වී සිටියහොත් ය. අහසින් යට සමස්ත මැවිල්ලට ම ප්‍රකාශිත එය, ඔබ ද ඇසූ ශුභාරංචිය ය; පාවුල් වන මම එහි සේවකයෙක් බවට පත් ව සිටිමි. ඔබ උදෙසා විඳින දුක් ගැහැට ගැන, දැන් මම සතුටු වෙමි. ක්‍රිස්තුස්වහන්සේගේ ශරීරය වන සභාව උදෙසා උන්වහන්සේගේ වධ විඳීම්වල අඩුව මගේ මාංසයෙන් සම්පූර්ණ කරමි. දෙවියන්වහන්සේගේ වචනය පූර්ණත්වයෙන් ප්‍රකාශ කිරීමේ කාර්යය ඉටු කිරීමට, දෙවියන්වහන්සේගේ නියමයෙන් ඔබ උදෙසා මට දෙන ලද උන්වහන්සේගේ ගබඩාකාරකමේ හැටියට මම එහි සේවකයෙක් වී සිටිමි. ඒ පණිවුඩය, කාල වකවානු හා පරම්පරා ගණනාවක් තිස්සේ රහසිගත ව තිබූ නමුදු, දැන් ශුද්ධවන්තයනට හෙළි කර ඇති අබිරහසයි. අන්‍ය-ජාතීන් අතරේ මෙම අබිරහසේ තේජාන්විත සම්පත කොතෙක්දැයි ඔවුන්ට දැන්වීමට දෙවියන්වහන්සේ තීරණ කළ සේක. ඒ තේජසේ බලාපොරොත්තුව ඔබ තුළ සිටින ක්‍රිස්තුස්වහන්සේ ය. එබැවින් හැම කෙනකු ම ක්‍රිස්තුස්වහන්සේ තුළ සම්පූර්ණත්වයෙන් දෙවියන්වහන්සේට පිළිගන්වනු පිණිස, අපි මුළු ප්‍රඥාවෙන් යුතු ව හැම කෙනකුට ම ගුරුහරුකම් දෙමින් ද හැම කෙනකුට ම උගන්වමින් ද ක්‍රිස්තුස්වහන්සේ ප්‍රකාශ කරන්නෙමු. එම අරමුණ ඉටු කරනු සඳහා මම, මා තුළ බලවත් ව ක්‍රියා කරන උන්වහන්සේගේ උපරිම ශක්තියෙන් යුතු ව මහත් පරිශ්‍රමයෙන් වෙහෙස දරන්නෙමි.





