ක්‍රියා 9:32-43
ක්‍රියා 9:32-43 SCV
පේතෘස්, එක් එක් තැන්හි සංචාරය කරමින් ලිද්දාහි ශුද්ධවන්තයින් බැහැදැක්මට ගියේ ය. අට අවුරුද්දක් අංසබාගයෙන් ඔත්පළ ව හුන් අයිනෙයස් නම් මිනිසෙක් එහිදී ඔහුට හමු විය. පේතෘස් ඔහු අමතමින්, “අයිනෙයස්, යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ඔබ සුව කරන සේක; නැගිටින්න! ඔබේ පැදුර අකුළා තබන්නැ” යි කීවේ ය. එකෙණෙහි ම ඔහු නැගී සිටියේ ය. ලිද්දාහි හා ෂාරොන්හි විසූ සියල්ලෝ ඔහු දැකීමෙන් ස්වාමින්වහන්සේ වෙත හැරුණහ. දොර්කස් හෙවත් මුව දෙන යන අරුතැති තබීතා නම් ඇදහිලිවන්තියක් යොප්පාහි විසුවා ය. යහපත් ක්‍රියා කිරීමේ ද දුප්පතුන්ට උපකාර කිරීමේ ද නියැළුණු ඈ, එදවස්හි රෝගී ව, මළා ය. ඇගේ මිනිය නාවා, උඩු මහල් කාමරයක තබනු ලැබී ය. යොප්පා, ලිද්දාවට නුදුරු බැවින් පේතෘස් ලිද්දාවේ සිටින බව ඇසූ යොප්පාවේ ගෝලයෝ, “කරුණාකර හනික අප වෙත එන්නැ” යි ඉල්ලමින් දෙදෙනකු අත ඔහුට පණිවුඩ යැවූහ. පේතෘස් නැගිට, ඔවුන් සමඟ පිටත් වුණේ ය. ඔහු එහි පැමිණි කල ඔවුහු උඩු මහලට ඔහු කැඳවාගෙන ගියහ. සියලු වැන්දඹු ස්ත්‍රීහු හඬ හඬා, දොර්කස් ඔවුන් සමඟ ජීවත් ව සිටියදී, නිම කර තිබූ සැට්ට කබා හා අනිකුත් ඇඳුම් පෙන්වමින් ඔහු වටා සිටගත්හ. එහෙත් ඔවුන් සියලු දෙනා කාමරයෙන් පිට මං කළ පේතෘස්, දණින් හිඳ, යාච්ඤා කළේ ය. ඉන්පසු මළ තැනැත්තිය දෙසට හැරී, “තබීතා නැගිටිනු” යි කී ය. ඈ ඇස් ඇරියා ය. එකල පේතෘස් දුටු ඈ, නැගිට හිඳ ගත්තා ය. ඔහු ඇයට අත දී, සිටගන්නට සලසා, ඉන්පසු ශුද්ධවතුන් හා වැන්දඹුවන් කැඳවා, ජීවත් වන තබීතා ඔවුන්ට බාර කළේ ය. මෙපුවත මුළු යොප්පාව පුරා පැතිර ගියෙන්, බොහෝ දෙනෙක් ස්වාමින්වහන්සේ අදහා ගත්හ. පේතෘස් දවස් කීපයක් සම් පදම් කරන්නකු වූ සීමොන් සමඟ යොප්පාහි නතර ව සිටියේ ය.





