YouVersion Logo
Search Icon

ක්‍රියා 9:1-9

ක්‍රියා 9:1-9 SCV

මේ අතර සාවුල් තවදුරටත් ස්වාමින්වහන්සේගේ ගෝලයින්ට එරෙහිව මරණ තර්ජන කරමින් හැසිරුණේ ය. ඔහු උත්තම පූජකයා වෙත ගොස්, දමස්කයේ මෙම ධර්ම-මාර්ගයට අයත් ස්ත්‍රී පුරුෂයින් හමු වුවහොත්, ඔවුන් සිරබාරයට ගෙන, යෙරුසලමට ගෙනෙනු පිණිස, දමස්කයේ සිනගෝග වෙත ලිපි ඉල්ලා ගත්තේ ය. මෙසේ යන ගමනේ ඔහු දමස්කය නගරයට ආසන්න වෙත් ම, එක්වර ම අහසින් විහිදුණු ආලෝක ධාරාවක් ඔහු වටා ලෙළ දුන්නේ ය. ඔහු බිම පතිත විය. එවිට, “සාවුල්, සාවුල්, ඔබ මට පීඩා කරන්නේ මන්දැ?” යි පවසන කටහඬක් ඔහුට ඇසිණි. “ස්වාමිනි, ඔබතුමා කවුරු දැ?” යි ඔහු ඇසී ය. “ඔබ විසින් වධ හිංසා කරනු ලබන යේසුස් මම යැ” යි පැවසූ උන්වහන්සේ, “දැන් නැගිට පුරවරයට යන්න. ඔබ විසින් කළ යුතු දෑ එහිදී ඔබට දන්වනු ඇතැ” යි පැවසූහ. සාවුල් හා ගමන් ගත් මිනිස්සු කතා කර ගත නො හැකි ව බලා සිටියහ. ඒ කටහඬ ඔවුන්ට ඇසුණ නමුදු, කිසිවකුත් දකින්නට නො වී ය. සාවුල් බිමින් නැගිට්ටේ ය. ඔහු ඇස් ඇරිය නමුත් කිසිවක් ඔහුට පෙනුණේ නැත. එනිසා ඔවුහු ඔහුගේ අතින් අල්ලාගෙන, දමස්කය වෙත ගෙන ගියහ. දවස් තුනක් අන්ධ ව සිටි ඔහු කිසිවක් කෑවේවත්, බීවේවත් නැත.