ක්‍රියා 9:1-17
ක්‍රියා 9:1-17 SCV
මේ අතර සාවුල් තවදුරටත් ස්වාමින්වහන්සේගේ ගෝලයින්ට එරෙහිව මරණ තර්ජන කරමින් හැසිරුණේ ය. ඔහු උත්තම පූජකයා වෙත ගොස්, දමස්කයේ මෙම ධර්ම-මාර්ගයට අයත් ස්ත්‍රී පුරුෂයින් හමු වුවහොත්, ඔවුන් සිරබාරයට ගෙන, යෙරුසලමට ගෙනෙනු පිණිස, දමස්කයේ සිනගෝග වෙත ලිපි ඉල්ලා ගත්තේ ය. මෙසේ යන ගමනේ ඔහු දමස්කය නගරයට ආසන්න වෙත් ම, එක්වර ම අහසින් විහිදුණු ආලෝක ධාරාවක් ඔහු වටා ලෙළ දුන්නේ ය. ඔහු බිම පතිත විය. එවිට, “සාවුල්, සාවුල්, ඔබ මට පීඩා කරන්නේ මන්දැ?” යි පවසන කටහඬක් ඔහුට ඇසිණි. “ස්වාමිනි, ඔබතුමා කවුරු දැ?” යි ඔහු ඇසී ය. “ඔබ විසින් වධ හිංසා කරනු ලබන යේසුස් මම යැ” යි පැවසූ උන්වහන්සේ, “දැන් නැගිට පුරවරයට යන්න. ඔබ විසින් කළ යුතු දෑ එහිදී ඔබට දන්වනු ඇතැ” යි පැවසූහ. සාවුල් හා ගමන් ගත් මිනිස්සු කතා කර ගත නො හැකි ව බලා සිටියහ. ඒ කටහඬ ඔවුන්ට ඇසුණ නමුදු, කිසිවකුත් දකින්නට නො වී ය. සාවුල් බිමින් නැගිට්ටේ ය. ඔහු ඇස් ඇරිය නමුත් කිසිවක් ඔහුට පෙනුණේ නැත. එනිසා ඔවුහු ඔහුගේ අතින් අල්ලාගෙන, දමස්කය වෙත ගෙන ගියහ. දවස් තුනක් අන්ධ ව සිටි ඔහු කිසිවක් කෑවේවත්, බීවේවත් නැත. දමස්කයේ අනනියස් නම් ගෝලයෙක් සිටියේ ය. ස්වාමින්වහන්සේ දර්ශනයකින් ඔහු අමතමින්, “අනනියස්” යයි කී සේක. “එසේය ස්වාමිනි” යි ඔහු පිළිතුරු දුන්නේ ය. එවිට ස්වාමින්වහන්සේ, “යන්න! සෘජු නම් වූ වීදියේ යූදස්ගේ ගෙදරට ගොස්, තාර්සස් සිට පැමිණි සාවුල් නැමැත්තා ගැන විමසන්න. අන්න! ඔහු යාච්ඤා කරමින් සිටී. අනනියස් නැමැත්තෙක් තමන් වෙත අවුත්, නැවත පෙනීම ලැබෙන පිණිස, තමන් මත අත් තබනු ඔහු දර්ශනයකින් දුටුවේ යැ” යි ඔහුට පැවසූ සේක. අනනියස් පිළිතුරු දෙමින්, “ස්වාමිනි, ඔබගේ ශුද්ධවතුන්ට යෙරුසලමේදී මේ මිනිසා කළ වින්නැහිය ගැන බොහෝ දෙනකුගෙන් මා අසා තියෙනවා. ඔහු මෙහි ඇවිත් සිටින්නේ, ඔබගේ නාමයෙන් අයදින්නන් සිරබාරයට ගැනීමට නායක පූජකයින්ගේ බලතල ඇති ව යැ” යි පැවසී ය. එහෙත් ස්වාමින්වහන්සේ ඔහු අමතමින්, “යන්න! මේ මනුෂ්‍යයා අන්‍ය-ජාතීන් ද රජුන් ද ඉශ්රායෙල් ජනයා ද වෙත මගේ නාමය ගෙන යෑමට තෝරා ගන්නා ලද මගේ උපකරණයකි; මගේ නාමය උදෙසා ඔහු කොතරම් විඳවිය යුතුදැයි මම ඔහුට පෙන්වා දෙන්නෙමි” යි කී සේක. එබැවින් අනනියස් පිටත් ව, ඒ නිවසට පිවිස, සාවුල් මත අත් තබා, “සහෝදර සාවුල්, ඔබ මෙහි එද්දී, මාවතේදී ඔබට පෙනුණු යේසුස් ස්වාමින්වහන්සේ මා මෙහි එවුවේ ඔබට නැවත පෙනීම ලැබෙන පිණිසත්, ශුද්ධාත්මයාණන්ගෙන් ඔබ පූර්ණ වන පිණිසත්” යයි කීවේ ය.





