YouVersion Logo
Search Icon

ක්‍රියා 5:1-11

ක්‍රියා 5:1-11 SCV

එහෙත්, අනනියස් නම් වූ මිනිසෙක් තම භාර්යාව වූ සපිරා සමඟ ඉඩම් කැබැල්ලක් විකුණා, තම භාර්යාවගේ ද අනුදැනුම ඇති ව, විකුණූ මිලෙන් කිසියම් කොටසක් තමන්ට ම තබාගෙන, කොටසක් පමණක් ගෙනවුත්, අපෝස්තුලුවරුන්ගේ පාමුල තැබී ය. එවිට පේතෘස් කතා කරමින්, “අනනියස්, ශුද්ධාත්මයාණන්වහන්සේට බොරු කියා, ඉඩම විකුණූ මිලෙන් කොටසක් ඔබ ළඟ තබා ගැනීමට සාතන් ඔබේ හදවත පිරවූයේ ඇයි? විකිණීමට පෙර ඉඩමේ අයිතිය ඔබේ ම නො වේ ද? එය විකුණා ලැබුණු මුදලත් ඔබේ මනාපය යටතේ නො වේ ද? මෙහෙම දෙයක් කරන්නට ඔබේ හදවත පෙලඹුණේ කෙසේ ද? ඔබ බොරුකර ඇත්තේ මිනිසුන්ට නො වෙයි; දෙවියන්වහන්සේට” යැයි කීවේ ය. අනනියස් ඒ ඇසූ කල, ඇද වැටී, මළේ ය. ඒ වග ඇසූ සියල්ලන් පිට මහා බයක් පැමිනුණේ ය. තරුණයෝ නැගිට, ඔහුගේ මිනිය ඔතා, එය පිටතට ගෙන ගොස්, ඔහු වළ දැමූහ. පැය තුනක පමණ විරාමයකින් පසු ඔහුගේ භාර්යාව එතැනට ආවේ සිදු වූ කිසිවක් නො දැන ය. පේතෘස් ඇය අමතමින්, “මට මේක කියන්න; ඉඩම විකිණීමෙන් ඔබ දෙපොළ ලැබූ මුදල මෙපමණ දැ?” යි ඇසී ය. “එසේය, මුදල එපමණකි” යි ඈ පිළිතුරු දුන්නා ය. එවිට පේතෘස්, “ස්වාමින්වහන්සේගේ ආත්මයාණන්වහන්සේ පරීක්ෂා කිරීමට ඔබ දෙපොළ එකඟ වූයේ කෙසේ ද? අන්න! නුඹේ ස්වාමිපුරුෂයා භූමදාන කළ අය ආපසු දොරකඩට ම ඇවිදින්; ඔවුන් නුඹත් එලෙස ම ගෙන යනු ඇතැ” යි කීවේ ය. එකෙණෙහි ම ඔහුගේ පාමුල ඇද වැටුණු ඈ මළා ය. එවිට ඇතුළට පිවිසි තරුණයෝ ඈ මිය ගොස් සිටිනු දැක, ඇගේ මිනිය පිටතට ගෙන ගොස්, ඇගේ ස්වාමිපුරුෂයා පසෙකින් ඇය වළ දැමූහ. මුළු සභාව ද සිදු වූ දෑ ඇසූ සියල්ලෝ ද මහා භීතියකින් වෙළී ගියෝ ය.

Free Reading Plans and Devotionals related to ක්‍රියා 5:1-11