YouVersion Logo
Search Icon

ක්‍රියා 27:16-25

ක්‍රියා 27:16-25 SCV

අප කවුදා නම් කුඩා දිවයිනෙහි ගොඩ බිම් මුවාවෙන් පාවී යද්දී, මහත් වෙහෙසක් දරා ජීවිතාරක්ෂක බෝට්ටුව බේරා ගතිමු. බෝට්ටුව ඔසවා නැවට ගත් නැවියෝ, නැව්බඳ සවිමත් කරන්නට කඹ නැව යටින් දමා බැන්දහ. සර්ටිස්හි වැලි කණ්ඩිවල නැව ගැටේ ය යන බියෙන් ඔවුහු පාවෙන නැංගුරම දමා, නැව පාවී යන්නට ඉඩ හළහ. කුණාටුව සැහැසි ව අපට පහර දෙන්නට වූයෙන්, ඔවුහු පසු දා නැව් බඩු නැවෙන් පිටතට දැමූහ. තුන් වන දිනයේ ඔවුහු නැවේ උපකරණ ද තම අත්වලින් ම නැවෙන් පිටත හෙළූහ. දින ගණනාවක් හිරු හෝ තරු හෝ නො පෙනී, කුණාටුව ද නො නැවතීම වියරු වූයෙන්, ගැලවීම ගැන තිබූ සියලු බලාපොරොත්තු අවසානයේදී අපි අත්හැර දැමීමු. ඔවුන් බොහෝ දිනක් කිසි අහරක් නො ගෙන සිටියදී, පාවුල් ඔවුන් ඉදිරියට ගොස්, “මිනිසුනි, ක්‍රීතයේ සිට යාත්‍රා නො කරන ලෙස මා දුන් අවවාදය ඔබ පිළිගත යුතු ව තිබුණා. එසේ වී නම් මේ හානියත්, අලාභයත් නො වන්න තිබුණා. කෙසේ වුවත්, දැන් මා ඕනෑකමින් ඔබෙන් ඉල්ලා සිටින්නේ, ධෛර්යවත් ව සිටින ලෙසයි. ජීවිත හානියක් ඔබ කිසිවකුටත් සිදු වන්නේ නෑ; විනාශ වනු ඇත්තේ නැව පමණයි. මා අයිති, මා සේවය කරන දෙවියන්වහන්සේගේ දූතයෙක් ඊයේ රෑ මා පසෙකින් සිට, ‘පාවුල් බය නො වන්න! ඔබ සීසර් ඉදිරියේ පෙනී සිටිය යුතුයි. ඔන්න! ඔබ සමඟ යාත්‍රා කරන සියලු දෙනාගේ ජීවිත, දෙවියන්වහන්සේ ඔබට ප්‍රදාන කර ඇතැ’ යි කීවා. එබැවින් මිනිසුනේ, ධෛර්යය ඇතිකර ගන්න; මන්ද මම දෙවියන්වහන්සේ විශ්වාස කරමි. සිදු වන්නේ උන්වහන්සේ මට කී විදියටමයි.

Free Reading Plans and Devotionals related to ක්‍රියා 27:16-25