YouVersion Logo
Search Icon

ක්‍රියා 23:12-22

ක්‍රියා 23:12-22 SCV

යුදෙව්වරු පසු දින උදෑසන එක් ව කුමන්ත්‍රණ කරමින්, පාවුල් මරා දමන තුරු කන්නේවත්, බොන්නේවත් නැතැයි ස්වයං දිවුරුමකින් බැඳුණහ. මෙසේ කුමන්ත්‍රණ කළෝ හතළිස් දෙනකුටත් වැඩි ය. ඔවුහු නායක පූජකයින් හා වැඩිහිටියන් වෙත ගොස්, ඔවුනට කරුණු සැල කරමින්, “පාවුල් මරා දමන තුරු කිසිවක් කන්නේවත්, බොන්නේවත් නැතිව, උපවාස කිරීමට අපි දැඩි ගිවිසුමකට බැඳුණා; එබැවින් පාවුල් ගැන වඩා නිවැරදි විභාගයක් පවත්වන්නට ඕනෑ වග අඟවා, මන්ත්‍රණ සභාව වෙත යළි ඔහු ගෙන එන ලෙස ඉල්ලා, මන්ත්‍රණ සභිකයිනුත්, ඔබත් සෙන්පති වෙත ආයාචනයක් කරන්න. ඔහු මෙතැනට එන්නට පළමු අපි ඔහු මරා දමන්නට සූදානම්” යැයි කීහ. එහෙත් පාවුල්ගේ සහෝදරියගේ පුත්‍රයාට මෙම කුමන්ත්‍රණය ගැන අසන්නට ලැබුණෙන්, ඔහු කඳවුරට ගොස්, පාවුල්ට ඒ වග දැනුම් දුන්නේ ය. එවිට සියයක හේවාපන්න නිලධාරියකු ඇමතූ පාවුල්, “මේ තරුණයා සෙන්පති වෙත ගෙන යන්න. ඔහුට දැන්විය යුතු කරුණක් මොහු වෙත ඇතැ” යි කීවේ ය. එබැවින් ඔහු තරුණයා සෙන්පති වෙත ගෙන ගියේ ය. සියයේ හේවාපන්න නිලධාරියා, “ඔබට දැන්විය යුතු යමක් මේ තරුණයාට ඇති නිසා, ඔහු ඔබට මුණ ගස්වන්නැයි සිරකාර පාවුල් මට අඬගසා, මගෙන් ඉල්ලී යැ” යි පැවසී ය. සෙන්පති තැන තරුණයා අතින් ගෙන පසෙකට කැඳවා, “මොනවද මට කියන්නට ඔබට තියෙන්නේ?” යි ඇසී ය. ඔහු පිළිතුරු දෙමින්, “පාවුල් ගැන තොරතුරු වඩා නිවැරදි ව විභාග කරන බවක් අඟවා, හෙට උදෑසන ඔහු මන්ත්‍රණ සභාව ඉදිරියට ගෙනෙන ලෙස, ඔබෙන් ඉල්ලන්නට යුදෙව්වරුන් එකඟතාවක් ඇතිකර ගත්තා. ඒකට ඉඩ දෙන්න එපා. මන්ද හතළිස් දෙනකුට වැඩි යුදෙව් පිරිසක් මඟදී ඔහුට පහර දීමට සැඟවී රැක ඉන්නවා; ඔහු මරා දමන තුරු කන්නේවත්, බොන්නේවත් නැතැයි ඔවුන් දිවුරා තියෙනවා; ඔවුන්ගේ ඉල්ලීමට ඔබතුමාගේ අනුමැතිය ලැබෙන තුරු ඔවුහු දැන් සියල්ල සූදානමින් බලා ඉන්නවා” යි කීවේ ය. “මෙය ඔබ මට දැන් වූ වග කිසිවකුට කියන්න එපා” යි තරුණයාට අවවාද කළ සෙන්පති, ඔහු යන්නට හැරියේ ය.

Free Reading Plans and Devotionals related to ක්‍රියා 23:12-22