YouVersion Logo
Search Icon

ක්‍රියා 2:22-31

ක්‍රියා 2:22-31 SCV

“ඉශ්‍රායෙල් මිනිසුනි, මේ වචන අහගන්න. ඔබ දන්නා පරිදි ඔබට දෙවියන්වහන්සේ සහතික කළ මනුෂ්‍යයකු වූ නාසරෙත්හි යේසුස්වහන්සේ ලවා ඔබ අතරේ බලවත් ක්‍රියා, හාස්කම් ලකුණු දෙවියන්වහන්සේ කර වූ සේක. දෙවියන්වහන්සේගේ නියත සැලැස්මක් හා උන්වහන්සේගේ පෙර දැනගැන්මට අනුව බාර දෙනු ලැබූ මෙම යේසුස්වහන්සේ, නුඹලා නීතියක් නැති මිනිසුන්ගේ අත්වලින් කුරුසියේ ඇණ ගසා, මරා දැමූහ. එනමුත් දෙවියන්වහන්සේ උන්වහන්සේ නැගිටුවා, මරණ වේදනාවෙන් උන්වහන්සේ මුදවාලූ සේක. මන්ද උන්වහන්සේ යටත් කර තබා ගැනීමට කොහෙත් ම මරණයට හැකි වුණේ නැත. දාවිත් උන්වහන්සේ ගැන මෙසේ කියා තිබේ: “ ‘මා අබියස නිරතුරු ව ම මම, ස්වාමින්වහන්සේ දුටිමි. මන්ද, මා සොලවනු නො ලබන ලෙසට උන්වහන්සේ මා දකුණු පසෙහි ය. එබැවින් මගේ හද සොම්නස් වෙයි; මගේ දිව ප්‍රීති ප්‍රමෝද වෙයි; මගේ මාංසය ද බලාපොරොත්තුවෙන් වෙසෙනු ඇත. මන්ද ඔබ මගේ ජීවාත්මය, පාතාලයේ අත්හැර දමන්නේ නැත; ඔබගේ ශුද්ධවතාණන්ට දිරා ජරාවට යෑම අත්දකින්නට ඔබ ඉඩ දෙන්නේ නැත. ජීවනයේ මාවත් ඔබ මට දැන් වූ සේක, ඔබ අභිමුඛයේ සොම්නසින් ඔබ මා පුරවන සේක.’ “සහෝදරවරුනි, අපගේ ආදි කුල දෙටු දාවිත් මිය ගිය බවත්, භූමදාන කළ බවත් නිසැක ව ම කියන්නට මට පුළුවන. ඔහුගේ සොහොන අද දක්වාත් අප අතරේ තියේ. එහෙත් තමාගේ ඇවෑමෙන් තමාගෙන් ම පැවතෙන්නකු තම සිහසුනේ හිඳුවීමට දෙවියන්වහන්සේ තමාට දිවුරා ගිවිසි වග දැන සිටි දිවැසිවරයකු වූ ඔහු, මතු සිදුවන දේ දැක, ක්‍රිස්තුස්වහන්සේ මළවුන්ගෙන් නැගිටීම ගැන කතා කරමින්, උන්වහන්සේ හේදිසියේ අත්හැර දැමෙන්නේ නැති වගත්, උන්වහන්සේගේ මාංසය, දිරා ජරාවට පත් නො වන වගත් පැවසී ය.