YouVersion Logo
Search Icon

2 සාමුවෙල් 9:1-10

2 සාමුවෙල් 9:1-10 SCV

දාවිත් කතා කරමින්, “මා යොනාතාන් උදෙසා කරුණාව දක්වන පිණිස, සාවුල්ගේ වංශයේ කවරකු හෝ තවමත් ජීවත් ව සිටී දැ?” යි විමසී ය. සාවුල්ගේ ගෘහවාසී සේවකයකු වූ සීබා නැමැත්තෙක් සිටියේ ය. දාවිත් ඉදිරියට ඔහු කැඳවන ලදී. රජු ඔහු අමතමින්, “නුඹ සීබාදැ?” යි ඇසී ය. “ඔබේ සේවකයා එසේ වෙතැ” යි ඔහු කීවේ ය. රජු කතා කරමින්, “මා විසින් දෙවියන්වහන්සේගේ කරුණාව දක්වන පිණිස සාවුල්ගේ වංශයට අයත් කිසිවකු නැති දැ?” යි ඇසී ය. සීබා, රජුට පිළිතුරු දෙමින්, “යොනාතාන්ගේ පුතෙක් තවමත් සිටියි. ඔහුගේ පා දෙක ම කොර යැ” යි කීවේ ය. ඔහු කොහේදැයි? රජු ඇසී ය. සීබා, පිළිතුරු දෙමින්, “ඔහු ලෝ-දෙබාර්හි අම්මියෙල්ගේ පුත් මාකීර්ගේ නිවසේ සිටිතැ” යි කීවේ ය. දාවිත් රජු එබැවින් ලෝ-දෙබාර්හි අම්මියෙල්ගේ පුත් මාකීර්ගේ නිවස වෙත පණිවුඩ යවා, ඔහු ගෙන්වා ගත්තේ ය. සාවුල්ගේ පුත්‍ර යොනාතාන්ගේ පුත් මෙෆීබොෂෙත් දාවිත් වෙත පැමිණ, නැමී, ඔහුට බුහුමන් දැක්වී ය. දාවිත්, “මෙෆීබොෂෙත්” යි කීවේ ය. “මෙන්න, මා ඔබේ සේවකයා” යි ඔහු පිළිතුරු දුන්නේ ය. දාවිත් ඔහු අමතමින්, “භය වෙන්න එපා; ඔබේ පියා, යොනාතාන් උදෙසා මා නිසැක ව ම ඔබට කරුණාව දක්වනවා. ඔබේ පියා වූ සාවුල්ට අයත් ව තිබූ සියලු ඉඩ කඩම් මා ඔබට යළි ලබා දෙනවා. ඔබ හැම විටෙක මගේ මේසයෙන් සංග්‍රහ විඳිනු ඇතැ” යි පැවසී ය. මෙෆීබොෂෙත් නැමී ගෞරව දක්වමින්, “මළ බල්ලකු වැනි මා ඔබගෙන් සැලකුම් ලබන්නට ඔබේ සේවකයා කවුරු දැ?” යි කීවේ ය. ඉන්පසු සාවුල්ගේ සේවක සීබා කැඳවූ රජු, “සාවුල්ටත්, ඔහුගේ පවුලටත් අයිති ව තිබූ හැම දේ මා නුඹේ හාම්පුතාගේ පුත්‍රයාට පවරා දුන්නා. නුඹත්, නුඹේ පුතුන් හා නුඹේ සේවකයින් ඔහු වෙනුවෙන් බිම වගාකොට, නුඹේ හාම්පුතාගේ පුත්‍රයාගේ අවැසිතා සඳහා අස්වනු ගෙන ආ යුතුයි. එහෙත් නුඹේ හාම්පුතාගේ පුත්‍රයා වන මෙෆීබොෂෙත් සැම කල් මගේ මේසයෙන් සංග්‍රහ විඳිනු ඇතැ” යි කීවේ ය. සීබාට පුතුන් පහළොස් දෙනෙක් ද සේවකයින් විසිදෙනෙක් ද සිටියහ.

Free Reading Plans and Devotionals related to 2 සාමුවෙල් 9:1-10