YouVersion Logo
Search Icon

2 සාමුවෙල් 7:8-17

2 සාමුවෙල් 7:8-17 SCV

“එබැවින් දැන්, මගේ සේවක දාවිත්ට මෙසේ කියන්න: ‘සේනාංකවල ස්වාමින්වහන්සේ මෙසේ කියන සේක; මගේ ජනතාව වන ඉශ්‍රායෙල්ගේ අධිපතියා වන පිණිස, තණ බිම් වෙතින්, බැටළුවන් පසු පස යෑමෙන් මම නුඹ ගත්තෙමි. ඔබ ආ-ගිය කොතැනකදී වුව මම ඔබ සමඟ සිටිමින්, ඔබගේ සියලු සතුරන් ඔබ ඉදිරියෙන් සිඳ දැමුවෙමි. තවද මේ පොළොවේ ශ්‍රේෂ්ඨතම මිනිසුන්ගේ නාම හා සමාන ශ්‍රේෂ්ඨ නාමයක් මම ඔබට සලසා දෙන්නෙමි. මගේ ඉශ්‍රායෙල් ජනයාට ස්ථානයක් නියම කර දී, ඔවුන් එහි පැලපදියම් කරන්නේ, තමන්ගේ ම වූ තැනක වාසය කරන්නට ඔවුන්ට හැකි වන පිණිසත්, තවදුරටත් කැලඹීම් ඇති නො වන පිණිසත් ය. දුෂ්ට මිනිසුන් ඉහතදී කළාක් මෙන්, මගේ ඉශ්‍රායෙල් ජනයාට මා විනිසුරුවන් පත් කර දුන් කාලයේ මෙන් තවත් ඔවුන්ට පීඩා නො කරනු ඇත. ඔබේ සියලු සතුරන් වෙතින් මම ඔබට විවේකය දෙන්නෙමි. “ ‘එපමණක් නො ව, ස්වාමින්වහන්සේ ඔබට වංශයක් සාදා දෙන වග ස්වාමින්වහන්සේ ම ඔබට ප්‍රකාශ කරන සේක; ඔබේ දවස් සම්පූර්ණ වූ කල, ඔබේ පියවරුන් සමඟ ඔබ සැතපෙන කල, ඔබට පසුව ඔබේ ම ශරීරයෙන් පැවත එන ඔබේ ම දරුවකු ඔබේ තැන ගැනීමට නැගිටුවා, ඔහුගේ රාජ්‍යය ස්ථාපිත කරන්නෙමි. මගේ නාමයට ගෘහයක් ගොඩ නගන්නා ඔහු ය. ඔහුගේ රාජ්‍යයේ සිංහාසනය මම සදහට ම ස්ථාපිත කරන්නෙමි. මම ඔහුගේ පියාණන් වන්නෙමි; ඔහු මගේ පුතණුවන් වන්නේ ය. ඔහු අයුතුකම් කළ විට මම මිනිස් ඉපලෙන් ඔහු හික්ම වන්නෙමි. මනුෂ්‍ය පුත්‍රයන්ගේ ඉපලෙන් තලවන්නෙමි. එහෙත් මම ඔබ ඉදිරියෙන් පහ කළ සාවුල්ගෙන් ඉවත් කර ගත් පරිදි, මගේ නොමියෙන ප්‍රේමය ඔහු වෙතින් ඉවත් නො කරන්නෙමි. ඔබගේ වංශයත්, ඔබගේ රාජ්‍යයත් නිසැක ව මා ඉදිරියේ සදහට ම පවතිනු ඇත. ඔබේ සිහසුන සදහට ම ස්ථාපිත කරනු ලබන්නේ යැ’ යි” පැවසූ සේක. මෙම සියලු වචනවලට අනුකූලව, මෙම මුළු දර්ශනයට අනුකූලව නාතාන් දාවිත්ට පැවසී ය.