YouVersion Logo
Search Icon

2 සාමුවෙල් 5:1-10

2 සාමුවෙල් 5:1-10 SCV

මුළු ඉශ්‍රායෙල් ගෝත්‍ර වංශ, දාවිත් වෙත හෙබ්‍රොන්ට පැමිණ, ඔහු අමතමින්, “මෙන්න, අප ඔබේ ම ඇට හා මාංශයි. සාවුල් අපට රජකම් කළ ඉකුත් සමයේදීත්, ඉශ්‍රායෙල් යුධ මෙහෙයුම්වල පෙරමුණ ගත්තේ ඔබයි. ස්වාමින්වහන්සේ ඔබට කතා කොට, ‘ඔබ, මගේ ඉශ්‍රායෙල් ජනයාට එඬේරාණන් වනු ඇත; මගේ ඉශ්‍රායෙල් ජනයාගේ පාලකයා වන්නේ ය’ කියා කී සේකැ” යි කීහ. ඉශ්‍රායෙල් සියලු වැඩිහිටියන් හෙබ්‍රොන්හි රජු වෙත ආ කල, දාවිත් රජු හෙබ්‍රොන්හි දී ස්වාමින්වහන්සේ අබියස ඔවුන් සමඟ ගිවිසුමක් කළේ ය. ඔවුහු ඉශ්‍රායෙල් රජු වශයෙන් දාවිත් ආලේප කළහ. රජකමට පත් වන විට තිස් අවුරුදු වයස් ව සිටි දාවිත් අවුරුදු හතළිහක් රජකම් කළේ ය. ඔහු හෙබ්‍රොන්හි හත් අවුරුදු හය මසක් යූදා වෙත රජකම් කළේ ය. පසුව යෙරුසලමෙහි තිස්තුන් අවුරුද්දක් මුළු ඉශ්‍රායෙල් හා යූදා කෙරේ රජකම් කළේ ය. රජු හා ඔහුගේ මිනිස්සු යෙරුසලම වෙත ගියේ, දේශ වාසීන් වූ යෙබූසිවරුන්ට එරෙහිව ය. යෙබූසිවරු දාවිත්ට කතා කොට, “ඔබට මෙහි ඇතුළු වන්නට බැහැ. අන්ධයින්ට හා කොරුන්ට වුව ද ඔබ හරවා යැවිය හැකියි” කීහ. “මෙහි ඇතුළු වීමට දාවිත්ට නුපුළුවනැ” යි ඔවුහු සිතූහ. එහෙත් දාවිත් සියොන් බළකොටුව අල්ලා ගත්තේ ය. එය, දාවිත් පුරවරයයි. ඒ දවසේ දාවිත් කතා කොට, “දාවිත්ගේ එදිරිවාදීන් වන කොරුන්ට හා අන්ධයින්ට ළං වීමට, යෙබූසිවරුන්ට පහර දෙන්නට කැමති හැම කෙනෙක් ම දිය අගල තුළින් යත්වා” යි කීවේ ය. “අන්ධයින් හා කොරුන් ගෘහයට ඇතුළු වන්නේ නැතැ” යි කියනු ලබන්නේ එබැවිනි. ඉන්පසු දාවිත් බළකොටුවෙහි පදිංචි වී, දාවිත් පුරය යැයි ඊට නම් තැබී ය. දාවිත් මිල්ලෝ ඇතුළත පටන් වටේට පුරය ගොඩ නැගී ය. දාවිත් වඩ වඩා බලවත් විය. මන්ද සේනාංකවල දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ ඔහු සමඟ වූ බැවිනි.

Free Reading Plans and Devotionals related to 2 සාමුවෙල් 5:1-10