2 සාමුවෙල් 20:1-26
2 සාමුවෙල් 20:1-26 SCV
මේ අතර බෙන්යමින් වංශික බික්රීගේ පුත් ෂෙබා නැමති දුර්ජන මිනිසෙක් ද එහි සිටියේ ය. ඔහු හොරණෑව පිඹ, මොර ගසමින්, “දාවිත් තුළ අපට පංගුවක් නැත. යෙස්සේගේ පුතාගෙන් අපට උරුම කොටසක් නැත. එම්බා ඉශ්‍රායෙල්! හැම කෙනකු ම තම තමන්ගේ කූඩාරමට!” යි කීවේ ය. එබැවින් සියලු ම ඉශ්‍රායෙල්වරු බික්රීගේ පුත් ෂෙබා පසු පස යන පිණිස දාවිත්ට පිටුපෑහ. එහෙත්, යූදා ජනයා යොර්දාන්හි සිට යෙරුසලම දක්වා තම රජු සමඟ සිටියහ. යෙරුසලමේ තම මැදුරට ආපසු පැමිණි දාවිත්, රජ මැදුර බලාගන්නා පිණිස ඔහු විසින් නවතා යන ලද අතිරේක භාර්යාවන් දස දෙනා කැඳවා, මුරකාවල් සහිත නිවසක ඔවුන් රැඳවී ය. ඔහු ඔවුන්ගේ අවැසිතා සපුරා ලූ නමුදු, ඔවුන් සමඟ එක්වූයේ නැත. ඔවුහු මියෙන තුරු වැන්දඹුවන් සේ වෙසෙමින් හුදකලා කොට තබන ලදහ. රජු ඉන්පසු අමාසාට කතා කොට, “තුන් දවසක් ඇතුළත යූදා මිනිසුන් මා වෙත කැඳවන්න. ඔබත් මෙහි පෙනී සිටින්නැ” යි කීවේ ය. අමාසා යූදා මිනිසුන් කැඳවීමට ගිය නමුදු රජු විසින් නියම කරන ලද කාලයට වඩා පමා විය. දාවිත්, අබිෂයිට කතා කොට, “දැන් මේ බික්රීගේ පුත් ෂෙබා අපට අබ්සලොම් කළාට වඩා වැඩි හානියක් කරනු ඇත. ඔබගේ හාම්පුතාගේ මිනිසුන් ගෙන ඔහු ලුහුබඳින්න. නැතහොත් ඔහු බළකොටු නගර සොයාගෙන අපගෙන් බේරී පලා යනු ඇතැ” යි කීවේ ය. එබැවින් අබිෂයි යටතේ යෝවාබ්ගේ මිනිස්සු ද කෙරේතිවරු, පෙලේතිවරු හා සියලු බලවත් රණකාමීන් ද බික්රීගේ පුත් ෂෙබා ලුහුබඳිමින් යෙරුසලමෙන් පිටත් ව ගියහ. ඔවුන් ගිබෙයොන් මහ පර්වතය අසල සිටියදී අමාසා ඔවුන් හමුවට ආයේ ය. යෝවාබ් තම යුද්ධ කබාය හැඳ, ඊට උඩින් තම ඉඟ වටා පටියක් බැඳ සිටියේ ය. එම පටියේ කොපුවක කඩුවක් රඳවා තිබිණ. ඔහු ඉදිරියට පියමං කරද්දී එය පිටතට ආයේ ය. යෝවාබ්, ආමාසා අමතා, “ආ! කොහොම ද මා සහෝදරය?” යි ඇසී ය. අමාසා සිඹිනු පිණිස යෝවාබ් තම දකුණතින් ඔහුගේ යටි රැවුලින් අල්ලා ගත්තේ ය. යෝවාබ්ගේ අතේ වූ කඩුව අමාසා සැලකිල්ලට ගත්තේ නැත. යෝවාබ් එයින් ඔහුගේ බඩට ඇන්නේ ය. ඔහුගේ අතුණු බිම විසිරිණ. යළි අනිනු ලැබීමකින් තොර ව අමාසා මියැදිණ. ඉන්පසු යෝවාබ් හා ඔහුගේ සහෝදර අබිෂයි, බික්රීගේ පුත් ෂෙබා ලුහුබැඳ ගියහ. යෝවාබ්ගේ මිනිසුන්ගෙන් කෙනෙක්, අමාසා පසෙකින් සිටගෙන, “යෝවාබ්ගේ පැත්තට කවුරු ද, දාවිත්ට හිතවත් කවුරු ද, ඔහු යෝවාබ් පසු පස යත්වා!” යි කීවේ ය. අමාසා පාර මැද ඔහුගේ ලේ ගොඩේ වැතිර සිටියේ ය. සියලු සෙබළුන් එතැනට ආ කල නවතිනු ඒ මිනිසා දුටුවේ ය. අමාසා අසලට ආ හැම කෙනෙක් ම එතැන නවතින වග වටහා ගත් ඔහු පාරෙන් ඔහු ඇදගෙන ගොස්, බැද්දෙහි හෙළා, ඔහු පිට රෙද්දක් එළී ය. පාරෙන් අමාසා ඉවත් කරනු ලැබූ පසු, හැම කෙනෙක් ම බික්රීගේ පුත් ෂෙබා ලුහුබඳිමින්, යෝවාබ් පසු පස්සේ ගියහ. ෂෙබා, ඉශ්‍රායෙල් සියලු ගෝත්‍ර වංශ ඔස්සේ ආබෙල් බෙත්-මාකා වෙත ගියේ ය. සියලු බික්රීවරුන් ද ඔහු වෙත එක් රැස් වී, ඔහු පසු පස ගියහ. යෝවාබ් සමඟ වූ සියලු සෙබළු අවුත්, ආබෙල් බෙත්-මාකා තුළ ඔහු වැටලූහ. ඔවුහු පුරවරයට එරෙහිව වැටලුම්-ගොඩැල්ලක් ඉදි කළහ. එය බළකොටු පවුර පසෙකින් නැගී සිටියේ ය. පවුර බිඳින්නට ඔවුන් ඊට පහර දෙද්දී, එක් ප්‍රඥාවත් කාන්තාවක් පුරවරයේ සිට හඬ නගමින්, “සවන් දෙන්න! සවන් දෙන්න! මට යෝවාබ් සමඟ කතා කරන්නට හැකි වන සේ ඔහුට මෙතැනට එන්න කියන්නැ” යි කීවා ය. ඔහු ඇය දෙසට ගියේ ය. ඈ, ඔහු අමතමින්, “ඔබ යෝවාබ් දැ?” යි ඇසුවා ය. “ඔව් මම යැ” යි ඔහු පිළිතුරු දුන්නේ ය. “ඔබේ සේවිකාව වන මා කියන දේට සවන් දෙන්නැ” යි ඈ කීවා ය. “මා අසාගෙන සිටිනවා” යි ඔහු පැවසී ය. ඈ කතා කරමින්, “ ‘ආබෙල් පුර වෙත ගොස්, විසඳුම් ලබා ගන්නැ’ යි යන කියමනක් පුරාණයේ තිබුණා. එලෙස කටයුතු බේරුම්කර ගැනුණා. ඉශ්‍රායෙලයේ වඩාත් සාමකාමී හා විශ්වාසී වන්නේ මමයි. ඔබ වැර දරන්නේ ඉශ්‍රායෙලයේ මවක් වන පුරවරයක් විනාශ කර දමන්නටයි. ස්වාමින්වහන්සේගේ උරුමය ගිල දැමීමට ඔබට අවැසි ව ඇත්තේ මන්දැ?” යි ඇසුවා ය. යෝවාබ් පිළිතුරු දෙමින්, “කොහෙත් ම නැත. ගිල දැමීමේ හෝ විනාශ කිරීමේ අදහසක් මා තුළ කොහෙත් ම නැත. කාරණය එය නො වෙයි. එප්‍රායිම් කඳුකරයේ බික්රීගේ පුත් ෂෙබා නැමති මිනිහෙක්, දාවිත් රජුට එරෙහිව ඔහුගේ අත ඔසවලා. ඒ මිනිහා පමණක් බාර දෙන්න. එවිට මම මේ පුරයෙන් ඉවත් ව යන්නම්” යි කීවේ ය. එම කාන්තාව යෝවාබ් අමතමින්, “ඔන්න, ඔහුගේ හිස පවුරට ඉහළින් ඔබ වෙත විසි කෙරෙනු ඇතැ” යි කීවා ය. ඉන්පසු එම කාන්තාව තම ප්‍රඥාවත්කමින් මුළු ජනතාව දැනුම්වත් කළා ය. ඔවුහු බික්රීගේ පුත් ෂෙබාගේ හිස ගසා, යෝවාබ් වෙත වීසි කළෝ ය. එවිට යෝවාබ් හොරණෑව හඬවා, සංඥා කළෙන්, ඔහුගේ මිනිස්සු එම පුරයෙන් නික්ම, එකිනෙකා තම තමාගේ ගෙදරට ගියහ. යෝවාබ් ද යෙරුසලමේ රජු වෙත ආපසු ගියේ ය. යෝවාබ් මුළු ඉශ්‍රායෙල් හමුදාවට ම අධිපතියා විය. කෙරේතිවරුන්ගේ හා පෙලේතිවරුන්ගේ අධිපතියා වූයේ යෙහෝයාදාගේ පුත් බෙනායා ය. බර වැඩ ගැනීම බාර ව සිටියේ අදොරාම් ය. අහිලූද්ගේ පුත් යෙහෝෂාෆාට් වාර්තාකරු ව සිටියේ ය. ෂෙවා ලේකම් ව සිටියේ ය. සාදෝක් හා අබියාතර් පූජකයින් ව සිටියහ. දාවිත්ගේ පූජකයා වූයේ යායීර්හි ඊරා ය.




