YouVersion Logo
Search Icon

2 සාමුවෙල් 19:1-8

2 සාමුවෙල් 19:1-8 SCV

“අන්න! රජු අබ්සලොම් උදෙසා වැලපෙමින්, ශෝක වන්නේ යැ” යි යෝවාබ්ට දන්වන ලදී. “රජු තම පුතු ගැන දුක් වේ යැ” යි කියනු හේවායින්ට ඒ දවසේ ඇසුණු බැවින්, ඒ දවසේ ලද ජයග්‍රහණය මුළු හමුදාවට ම ශෝකයක් බවට හැරිණ. මිනිසුන් ඒ දවසේ පුරවරයට ඇතුළු වූයේ, යුද්ධයෙන් පැරදී පලා අවුත්, ලජ්ජාවෙන් යුතු ව හොර රහසේ පුරවරයට ඇතුළු වන්නා සේ ය. රජු මුහුණ වසාගෙන හඬ නගා හඬන්නට වූයේ, “මා පුත, අබ්සලොම්, අහෝ අබ්සලොම් මා පුත, මා පුත” යි කියමිනි. ඉන්පසු යෝවාබ් ගෘහයට රජු වෙත අවුත්, “ඔබේ ජීවිතයත්, ඔබේ පුතුන්ගේ හා ඔබේ දූවරුන්ගේ ජීවිතත්, ඔබේ භාර්යාවන්ගේ හා අතිරේක භාර්යාවන්ගේ ජීවිතත් ගැලවූ ඔබේ සේවක සියල්ලන්ගේ මුහුණු අද දවසේ ඔබ ලජ්ජාවට පත් කළා. ඔබ, කරන්නේ ඔබට වෛර කරන්නන්ට ප්‍රේම කරමින්, ඔබට ප්‍රේම කරන්නන්ට වෛර කිරීමයි. සෙන්පතීන් හා ඔවුන්ගේ මිනිසුන් ගැන ඔබට තැකීමක් නැති වග අද දවසේ ඔබ පැහැදිලි ව පෙන්නුම් කළා. මට පෙනෙන්නේ අද දවසේ අබ්සලොම් ජීවත් ව, අප හැම මැරුණා නම් ඔබ සතුටු වන වගයි. දැන් නැගිටින්න, පිටතට ගොස්, ඔබේ මිනිසුන් ධෛර්යවත් කරන්න. ස්වාමින්වහන්සේ තුළ මා දිවුරා කියන්නේ, ඔබ පිටතට නො ගියහොත් රෑ බෝ වන විට එක මිනිසකුදු ඔබ සමඟ නො සිටින වගයි. එසේ වූවොත්, ඔබේ යෞවනයේ පටන් මේ දක්වා ඔබ පිට පැමිණි සියලු විපත්තිවලට වඩා මෙය බෙහෙවින් බරපතළ වනු ඇතැ” යි කීවේ ය. එබැවින් දාවිත් නැගිට, පුර දොරකඩ වූ තම අසුනේ හිඳ ගත්තේ ය. එවිට, “අන්න, රජ්ජුරුවෝ දොරකඩ හිඳ සිටිති” යි මිනිසුන්ට දන්වන ලද්දේ ය. ඔවුහු සියල්ලෝ ඔහු හමුවට ආහ. මේ අතර ඉශ්‍රායෙල්වරු තම තමන්ගේ ගෙවලට පලා ගොස් සිටියහ.

Free Reading Plans and Devotionals related to 2 සාමුවෙල් 19:1-8