YouVersion Logo
Search Icon

2 සාමුවෙල් 15

15
අබ්සලොම්ගේ කුමන්ත්‍රණය
1මෙයින් පසු අබ්සලොම් අශ්ව රථයක් ද අශ්වයින් ද තමාට පෙරටුවෙන් දුවන්නට මිනිසුන් පනස්දෙනකු ද සපයා ගත්තේ ය. 2වේලාසනින් අවදි වන අබ්සලොම්, පුර දොරටුව දිවෙන මාවත පසෙකින් සිටගන්නේ ය. යම් කෙනකු තීන්දුවක් පතා රජු ඉදිරියට යම් පැමිණිල්ලක් ගෙන යන කල, අබ්සලොම් ඔහුට අඬගසා, “මේ, ඔබ කවර නගරයෙන් දැ?” යි අසයි. “ඔබගේ සේවකයා ඉශ්‍රායෙල් ගෝත්‍ර වංශ එකකිනි” යි පිළිතුරු ලැබුණු කල, 3අබ්සලොම් ඔහු අමතමින්, “බලන්න, ඔබේ ඉල්ලීම යුක්ති සහගතයි. නිවැරදියි. එහෙත් ඔබට සවන් දෙන්නට රජු නියෝජිතයකු පත් කර නැතැ” යි කියයි. 4අබ්සලොම් වැඩිදුරටත් කතා කරමින්, “දේශයේ විනිශ්වයකරු වශයෙන් මා පත් කරනු ලැබුවොත්! එසේ නම් පැමිණිල්ලක් හෝ නඩු හබයක් මා ළඟට ආ කල, මා ඔහුට යුක්තිය ඉටු කර දෙනවා” යි කියන්නේ ය.
5තවද යමකු ඔහුට වැඳ ආචාර කරන්නට ළං වුවහොත් අබ්සලොම් අත දිගු කොට, ඔහු වැලඳ, සිප ගන්නේ ය. 6විනිශ්චය සඳහා රජු වෙත යන සියලු ඉශ්‍රායෙල්වරුන් හමුවේ අබ්සලොම්ගේ ක්‍රියා කලාපය එසේ විය. මෙසේ ඔහු ඉශ්‍රායෙල් ජනයාගේ හදවත් සොරා ගත්තේ ය.
7හතර#15:7 හතර සමහර ග්‍රීක අනුවාද පිටපත්, සිරියැක් අනුවාද සහ පුරාණ ඉතිහාසඥ ජෝසෙෆුස්ට අනුව ය. හෙබ්‍රෙව් හතළිස් අවුරුද්ද අවසානයේදී අබ්සලොම්, රජු අමතමින්, “හෙබ්‍රොන් වෙත ගොස්, ස්වාමින්වහන්සේට මා වූ බාරය ඉෂ්ට කරන්නට මට අවසර දෙන්න. 8ඔබගේ සේවක මා අරාම්හි ගෙෂූර්වල වෙසෙද්දී, ‘ස්වාමින්වහන්සේ ආපසු මා යෙරුසලමට ගෙන ගියහොත්, මම ස්වාමින්වහන්සේට නමස්කාර කරන්නෙමි#15:8 සමහර ග්‍රීක පිටපත්වල හෙබ්‍රොන්හි දී යන වචනය ඇතුළත් කර තිබේ.’ යි බාරයක් වුණා” යි කීවේ ය.
9“සාමයෙන් යන්නැ” යි රජු ඔහුට කීවේ ය. එවිට ඔහු නැගිට, හෙබ්‍රොන් බලා ගියේ ය.
10එහෙත් අබ්සලොම් ඉශ්‍රායෙල් ගෝත්‍ර වංශ මුළුල්ලේ රහස් පණිවුඩකරුවන් යවමින්, “හොරණෑ නාදය ඔබට ඇසුණු විගස, ‘අබ්සලොම් හෙබ්‍රොන්හි රජ්ජුරුවෝ ය’ කියා කියන්නැ” යි දන්වා යැවී ය. 11මිනිසුන් දෙසිය දෙනෙක් යෙරුසලමේ සිට අබ්සලොම් සමඟ එහි ගොස් සිටියහ. ආරාධිත අමුත්තන් සේ ඔවුන් එහි ගොස් සිටියේ, මේ කිසිවක් නො දැන, නිදොස් සිතිනි. 12අබ්සලොම් යාග පූජා ඔප්පු කරමින්, දාවිත්ගේ පුරෝහිත ගීලොනීය අහිතොෆෙල් ද ඔහුගේ ගම වන ගිලෝහි සිට ගෙන්වා ගත්තේ ය. මෙසේ කුමන්ත්‍රණය බලයෙන් වැඩිණි. අබ්සලොම් අනුව එන්නන්ගේ ගණන ද ක්‍රමයෙන් වැඩිවෙමින් තිබිණ.
දාවිත්ගේ පලා යෑම
13මේ අතර පණිවුඩකරුවෙක් දාවිත් වෙත අවුත්, “ඉශ්‍රායෙල් ජනයාගේ හදවත් අබ්සලොම් සමඟ යැ” යි කීවේ ය.
14එවිට දාවිත් තමා සමඟ යෙරුසලමේ සිටි තම සේවක නිලධාරීන් අමතා, “යමු, අප පලා යා යුතුයි. නැතහොත් අප කිසිවකුටත් අබ්සලොම්ගෙන් ගැලවීමක් නැතිව යාවි. අප වහාම පිටත් විය යුතුයි. නැතහොත් ඔහු වහ වහා අවුත්, අප අල්ලා අප පිට විපත්තිය පමුණුවනු ඇති. මේ පුරවරය ම කඩු ගා දමනු ඇතැ” යි කීවේ ය.
15රාජ සේවකයෝ පිළිතුරු දෙමින්, “අපගේ ස්වාමියා වන රජ්ජුරුවන් තීරණය කරන කවර දෙයක් වුව කරන්නට ඔන්න ඔබගේ සේවකයින් සූදානම්” යි කීහ.
16මෙසේ රජු පිටත් ව ගියේ ය. ඔහුගේ ගෘහවාසී සියල්ලෝ ඔහු අනුව ගියෝ ය. එහෙත් රජ මැදුර බලාගන්නා පිණිස ඔහු අතිරේක භාර්යාවන් දස දෙනකු නවතා ගියේ ය. 17මෙසේ රජු හා ඔහු සමඟින් ඔහු පසු පස ගිය මුළු ජනයා පිටත් ව ගොස්, බෙත්-මෙර්හාක්හි නැවතුණහ. 18ඔහුගේ සියලු මිනිස්සු ඔහු පසෙකින් ගියහ. කෙරේතිවරු සියල්ලෝ ද පෙලේතිවරු ද ගාත්හි සිට ඔහු අනුව ආ ගිත්තීවරුන් හයසියදෙනා ද රජු ඉදිරිපිටින් ගමන් ගත්හ.
19රජු ගිත්තීය ඉත්තයි අමතමින්, “ඔබත් අප සමඟ එන්නේ කුමට ද? ආපසු ගොස්, නව රජු සමඟ සිටින්න. මන්ද ඔබ විදෙස්සෙක්; තම මවු රටින් පිට මං ව සිටින්නෙක්. 20කොතැනක යන්නේදැයි මා පවා නො දැන සිටියදී ඊයේ පැමිණි ඔබට මේ අද ම අප සමඟ ඉබාගාතෙ යන්නට සැලසිය හැකි ද? ආපසු යන්න! ඔබේ සහෝදර ජනයාත් කැඳවාගෙන යන්න. ආදර කරුණාවත්, විශ්වාසවන්තකමත්#15:20 ග්‍රීක පරිවර්තනයේ ස්වාමින්වහන්සේගේ ආදර කරුණාවත්, විශ්වාසන්තකමත් ලෙස ඇත. ඔබ සමඟ පවතීවා” යි කීවේ ය.
21එහෙත් රජුට පිළිතුරු දුන් ඉත්තයි, “ස්වාමින්වහන්සේ ජීවත් වන්නා සේ ම, මගේ ස්වාමියා වන රජ්ජුරුවන් ද ජීවත් වන්නා සේ ම, මගේ ස්වාමියා වන රජ්ජුරුවන් යම් තැනක ද එතැන ඇත්තේ ජීවනය වුවත්, මරණය වුවත් ඔබේ සේවකයාත් එතැන ම වන්නේ යැ” යි කීවේ ය.
22එවිට දාවිත්, “හොඳයි යන්න; ඉදිරියට ඇදෙන්නැ” යි ඉත්තයිට කීවේ ය. එබැවින් ගිත්තීය ඉත්තයි ද ඔහුගේ සියලු මිනිසුන් ද ඔහු සමඟ වූ දරු පවුල් ද ඉදිරියට ගමන් කළහ.
23මුළු ජනයා එතැන පසු කර යද්දී මුළු පළාත ම මහ හඬින් ඇඬූහ. රජු ද කිද්‍රොන් ඔයෙන් එතෙර විය. මුළු ජනකාය ම පාළුකරය දෙසට ගමන් ගත්හ.
24තවද මෙන්න! සාදෝක් ද එහි ළඟා විය. ඔහු සමඟ වූ ලෙවීවරු සැවොම දෙවියන්වහන්සේගේ ගිවිසුම් කරඬුව ගෙන ගියහ. ඔවුහු දෙවියන්වහන්සේගේ කරඬුව, පසෙක බිම තැබූහ. ජනයා සියල්ලන් ම පුරවරය හැර යෑම නිම වන තුරු අබියාතර් පූජා ඔප්පු කළේ ය.
25එවිට රජු සාදෝක් අමතා, “දෙවියන්වහන්සේගේ කරඬුව ආපසු පුරවරය තුළට අරං යන්න. ස්වාමින්වහන්සේගේ ඇස් හමුවේ මට ප්‍රසාදය ලැබුණොත්, උන්වහන්සේ මා ආපසු ගෙනැවිත් ගිවිසුම් කරඬුවත්, උන්වහන්සේගේ වාසස්ථානයත් යළි මට දකින්නට සලසනු ඇත. 26එහෙත් ‘මම ඔබ සමඟ ප්‍රසන්න නැතැ’ යි උන්වහන්සේ කියන සේක් නම්, මෙන්න මම! තමන්ට යෙහෙකැයි හැඟෙන කවර දෙයක් වුව උන්වහන්සේ කරත්වා!” යි කීවේ ය.
27රජු තවදුරටත් සාදෝක් පූජකයා අමතමින්, “ඔබ දුර දකින්නෙකු නො වේ ද? ඔබගේ පුත් අහිමායස් හා අබියාතර්ගේ පුත් යොනාතාන් කැටිව සාමයෙන් ආපසු පුරවරයට යන්න. ඔබත්, අබියාතරුත් ඔබේ පුතුන් දෙදෙනා කැටිව යන්න. 28මෙන්න, මට දන්වන්නට ඔබෙන් වචනයක් එන තුරු මම පාළුකරයේ ගංතොට අසල නැවතී සිටිනවා” යි කීවේ ය. 29එබැවින් සාදෝක් හා අබියාතර් දෙවියන්වහන්සේගේ කරඬුව යෙරුසලමට ආපසු ගෙන අවුත්, එහි නැවතුණහ.
30දාවිත් තම හිස ආවරණ කර ගෙන, නිරාවරණ දෙපයින් යුතු ව හඬ හඬා, ඔලීව කඳු නැග්මෙහි දිගට ම නැංගේ ය. ඔහු සමඟ වූ සියලු ජනයා ද කන්ද නැංගේ තම හිස් ආවරණ කර ගෙන හඬමිනි. 31“කුමන්ත්‍රණකරුවන් අතරේ අබ්සලොම් සමඟ අහිතොෆෙල් ද සිටිතැ” යි දාවිත්ට දන්වනු ලැබිණ. එබැවින් දාවිත් යාච්ඤා කරමින්, “අහෝ ස්වාමින්වහන්ස, අහිතොෆෙල්ගේ උපදෙස් මෝඩකමට හැරවුව මැනව” යි අයැදී ය.
32දෙවියන්වහන්සේට නමස්කාර කරනු ලබන කඳු මුඳුනට දාවිත් පැමිණි කල, ඔහු හමුවීමට අර්කීය හූෂයි පැමිණියේ තම හැඳිවත ඉරාගෙන, හිසේ දූලි හලාගෙන ය. 33දාවිත් ඔහු අමතමින්, “ඔබ මා සමඟ ආවොත්, ඔබ මට මහ බරක් වේවි; 34එහෙත් ඔබ පුරවරයට ආපසු හැරී ගොස්, අබ්සලොම්ට කතා කොට, ‘මම ඔබගේ සේවකයා වෙන්නම්. අහෝ රජතුමනි, පසුගිය කාලයේ මා ඔබේ පියාණන්ගේ සේවකයායි; එහෙත් දැන්, මම ඔබගේ සේවකයා වන්නෙමි’ යි කියා කිවහොත්, මා වෙනුවෙන් අහිතොෆෙල්ගේ උපදෙස් නිෂ්ඵල කරන්නට ඔබට පුළුවන. 35සාදෝක් හා අබියාතර් යන පූජකයින් ඔබ සමඟ එහි සිටිනවා නො වේ ද? රාජ මාලිගයේදී ඔබට අසන්නට ලැබෙන යමක් වෙතොත් ඒවා සාදෝක් හා අබියාතර් පූජකයින්ට කියන්න. 36ඔන්න! සාදෝක්ගේ පුත් අහිමායස් හා අබියාතර්ගේ පුත් යොනාතාන් යන ඔවුන්ගේ පුතුන් ද එහි ඔවුන් සමඟ ය. ඔබට අසන්නට ලැබෙන දෑ ඔවුන් අත මට දන්වා එවන්නැ” යි කීවේ ය.
37එබැවින් දාවිත්ගේ මිත්‍ර හූෂයි, යෙරුසලමට ළඟා වූයේ අබ්සලොම් ද පුරවරයට පිවිසෙද්දී ය.

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in