2 සාමුවෙල් 10:6-19
2 සාමුවෙල් 10:6-19 SCV
තමන් දාවිත්ට පිළිකුල් වූ වග අම්මොන්වරු දුටු කල, ඔවුහු බෙත්-රෙහෝබ්හි හා සෝබාහි අරාම්වරුන් වෙතින් පාබළ සෙබළු විසිදහසක් ද මාකාහි රජු සමඟ මිනිසුන් දහසක් ද ටෝබ් වෙතින් මිනිසුන් දොළොස් දහසක් ද කුලියට ගත්හ. දාවිත් ඒ වග ඇසූ කල, යෝවාබ් සමඟ මුළු යුධ හමුදාව පිටත් කර යැවී ය. අම්මොන්වරු පිටතට අවුත්, පුර දොරටු පිවිසුමෙහි සටනට පෙළ ගැසුණු අතර, සෝබාහි හා රෙහොබ්හි අරාම්වරු හා ටෝබ්හි හා මාකාහි මිනිස්සු එළිමහන් භූමියේ වෙන වෙනම සිටගත්හ. එවිට යෝවාබ්, තමාට එරෙහිව ඉදිරියෙන් හා පිටුපසින් වූ යුද්ධ සූදානම දැක, ඉශ්‍රායෙල් හේවායින්ගෙන් දක්ෂයින් තෝරා, අරාම්වරුන්ට එරෙහිව ඔවුන් පෙළ ගැස්වී ය. ඔහු සෙසු මිනිසුන් තම සහෝදර අබිෂයි යටතේ තබා, අම්මොන්වරුන්ට එරෙහිව ඔවුන් පෙළ ගැස්සවී ය. යෝවාබ්, කතා කරමින්, “අරාම්වරුන් මට වඩා බොහෝ බලවත් වුණොත්, මගේ උපකාරයට ඔබ ආ යුතුයි. එහෙත් අම්මොන්වරුන් ඔබට වඩා බොහෝ බලවත් වුණොත්, මම ඔබේ උපකාරයට එන්නම්. ශක්තිමත් ව සිටිමින්, අපි අපගේ ජනයා හා අපගේ දෙවියන්වහන්සේගේ පුරවර උදෙසා එඩිතර ව සටන් කරමු. ස්වාමින්වහන්සේ ස්වකීය ඇස් හමුවෙහි යහපත් ව පෙනෙන දේ කරන සේක්වා” යි පැවසී ය. ඉන්පසු යෝවාබ් හා ඔහු සමඟ වූ මිනිස්සු අරාම්වරුන්ට එරෙහිව සටනට ඉදිරියට ගිය කල, ඔවුහු ඔහු ඉදිරියෙන් පලා ගියහ. අරාම්වරුන් පලා යනු දුටු අම්මොන්වරු ද අබිෂයි ඉදිරියෙන් පලා ගොස්, පුරවරය තුළට වැදුණහ. එවිට යෝවාබ් අම්මොන්වරුන් හා සටන් කිරීමෙන් ආපසු හැරී, යෙරුසලමට ආවේ ය. ඉශ්‍රායෙල් අතින් තමන් පැරදුණු වග දුටු අරාම්වරු යළි සංවිධාන වූහ. හදද්එසෙර් යුප්‍රටීස් ගඟ එගොඩින් ද අරාම්වරුන් ගෙන්වා ගත්තේ ය. ඔවුහු හදද්එසෙර්ගේ හමුදාවේ අණ දෙන්නා වන ෂෝබක්ගේ නායකත්වය යටතේ හේලාම් දක්වා ගියහ. දාවිත්ට ඒ වග දැන් වූ කල, ඔහු මුළු ඉශ්‍රායෙල් එක් රැස් කොට, යොර්දානෙන් එතෙර ව, හේලාම් වෙත ගියේ ය. අරාම්වරු දාවිත්ට එරෙහිව යුද්ධ කිරීමට පෙළ ගැසී, ඔහු සමඟ සටන් කළහ. එහෙත් ඔවුහු ඉශ්‍රායෙල් වෙතින් පලා ගියහ. දාවිත් අරාම්වරුන්ගේ රථවල සිටි මිනිසුන් හත්සියයක් ද ඔවුන්ගේ පාබළ සෙබළුන් හතළිස් දහසක් ද මරා දමා, ඔවුන්ගේ හමුදාපති වූ ෂෝබක් ද තුවාල කළෙන්, ඔහු එහිදී මළේ ය. තමන් ඉශ්‍රායෙල් අතින් පරාජය වී සිටින වග දුටු හදද්එසෙර් යටතේ වූ සියලු රජවරු ඉශ්‍රායෙල්වරුන් හා සමඟි වී, ඔවුන්ට යටත් වූහ. එබැවින් අරාම්වරු තවදුරටත් අම්මොන්වරුන්ට උපකාර කිරීමට භය වූහ.



