YouVersion Logo
Search Icon

2 රාජාවලිය 8:7-13

2 රාජාවලිය 8:7-13 SCV

එලීෂා දමස්කය වෙත ගියේ ය. අරාම්හි රජු වූ බෙන්-හදද් රෝගී ව සිටියේ ය. “දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයා මෙහි පැමිණ සිටිතැ” යි රජුට දන්වනු ලැබිණ. ඔහු හසායෙල් අමතා, “ඔබ තෑග්ගක් රැගෙන, දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයා හමු වන්නට ගොස්, ‘මේ රෝගයෙන් මා සුව වේ දැ?’ යි ඔහු මගින් ස්වාමින්වහන්සේගෙන් විචාරන්නැ” යි කීවේ ය. හසායෙල්, ඔටුවන් හතළිහක් පිට පැට වූ දමස්කයේ සියලු ඉස්තරම් බඩු සහිත ත්‍යාගයක් රැගෙන එලීෂා හමු වන්නට පිටත් ව ගොස්, එලීෂා ඉදිරියේ සිට ගත්තේ ය. “ ‘මම මේ රෝගයෙන් සුවය ලබම් දැ’ යි අසන්නට අරාම්හි රජු වූ ඔබේ පුත් බෙන්-හදද් මා එවී යැ” යි පැවසී ය. එලීෂා පිළිතුරු දෙමින්, “ ‘ඔබ සැබවින් ම සුවය ලබනු ඇතැ’ යි ගොස්, ඔහුට කියන්න. එහෙත් නියතයෙන් ම ඔහු මැරෙන වග ස්වාමින්වහන්සේ මට එළිදරවු කර තිබේ යැ” යි පැවසී ය. ඔහු අපහසුතාවට පත් වන තුරු තද බැල්මකින් ඔහු දෙස බලා සිටි දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයා ඉන්පසු වැලපෙන්නට වන්නේ ය. “ඇයි මගේ ස්වාමියා වැලපෙන්නේ” යි හසායෙල් ඇසී ය. ඔහු පිළිතුරු දෙමින්, “ඉශ්‍රායෙල්වරුන්ට ඔබ කරන්නට යන නපුර මා දන්නා නිසා යැ” යි කී ඔහු, “ඔබ ඔවුන්ගේ බළකොටු ගිනි තබා, ඔවුන්ගේ තරුණයින් කඩු ගා, ඔවුන්ගේ ළදරුවන් පොළොවේ ගසා, ඔවුන්ගේ ගැබිනි කාන්තාවන් ඉරා දමනු ඇතැ” යි පැවසී ය. “බල්ලෙක් වැනි වූ ඔබේ මෙහෙකරු මා එවැනි වික්‍රමයක් කරන්නේ කෙසේ දැ?” යි හසායෙල් ඇසී ය. එලීෂා පිළිතුරු දෙමින්, “ඔබ අරාම්හි රජකමට පත් වන වග ස්වාමින්වහන්සේ මට පෙන්වා තිබේ යැ” යි පැවසී ය.