YouVersion Logo
Search Icon

2 රාජාවලිය 5

5
නාමාන්ගේ කුෂ්ඨය
1මෙකල අරාම්හි රජුගේ හමුදාවේ සෙන්පති ව සිටියේ නාමාන් ය. ස්වාමින්වහන්සේ ඔහු මගින් අරාම් රටට ජය ගෙන දී තිබූ බැවින්, ඔහු තම ස්වාමියාගේ ඇස් හමුවේ උතුම් මිනිසකු ව, මහත් ගරු කටයුතු කෙනකු ව සිටියේ ය. ඔහු බලවත් රණශූරයකු ව සිටි නමුත්, ඔහුට කුෂ්ඨ රෝගයක් තිබිණි.
2අරාම්හි සිට පිටත් ව ගිය ආක්‍රමණික කණ්ඩායම් ඉශ්‍රායෙලයෙන් කුඩා කෙල්ලක අල්ලා ගෙනැවිත් තිබිණි. ඈ නාමාන්ගේ බිරිඳට මෙහෙ කළා ය. 3ඇගේ ස්වාමි දූ ඇමතූ ඈ, “මගේ හාම්පුතා සමාරියේ සිටින දිවැසිවරයා ඉදිරියේ පෙනී සිටියොත්! මොහුගේ කුෂ්ඨය, ඔහු සුව කරනු ඇතැ” යි කීවා ය.
4නාමාන් තම ස්වාමියා වෙත ගොස්, ඉශ්‍රායෙලයෙන් ආ කෙල්ල කියා තිබූ දෑ ඔහුට පැවසී ය. 5“දැන් ම යන්නැ” යි පිළිතුරු දුන් අරාම්හි රජු, “ඉශ්‍රායෙල් රජුට මා ලිපියක් යවන්නම්” යැයි කී ය. එබැවින් නාමාන් රිදී තලෙන්ත දහයක්#5:5 කිලෝග්‍රෑම් 340ක් පමණ, රන් ෂෙකෙල් හයදාහක්#5:5 කිලෝග්‍රෑම් 69ක් පමණ හා ඇඳුම් කට්ටල දහයක් රැගෙන පිටත් ව ගියේ ය. 6ඔහු ඉශ්‍රායෙල් රජුට ගෙනා ලිපියේ සඳහන් වූයේ, “මේ ලිපිය සමඟ මගේ සේවක නාමාන් ඔබ වෙත එවමි. ඔහුගේ කුෂ්ඨ රෝගය සුවකරන්නැ” යි යනුවෙනි.
7ඉශ්‍රායෙල් රජු එම ලිපිය කියැවූ සැණින්, තම හැඳිවත් ඉරාගෙන, “මා දෙවියන්වහන්සේ ද? මරන්නටත්, යළි ජීවත් කරන්නටත් මට පුළුවන් ද? මේ මිනිහා කුෂ්ඨයක් සුව කරන්නට මිනිහකු මා ළඟට එවන්නේ මොන එහෙකට ද? පෙනේ ද ඔහු මා සමඟ කලහයකට අර අඳින හැටි” යි කී ය.
8ඉශ්‍රායෙල් රජු තම හැඳිවත් ඉරා ගත් වග ඇසූ දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයා වූ එලීෂා, “ඔබේ හැඳිවත් ඉරා ගත්තේ ඇයි? ඒ මිනිහා මා වෙත ආවා වේ. ඉශ්‍රායෙල්හි දිවැසිවරයකු සිටින වග ඔහු දැනගනු ඇතැ” යි කියා යැවී ය. 9එබැවින් නාමාන් තම අශ්වයින් හා රථ කැටුව එලීෂාගේ නිවසේ දොරකඩ ළඟ නැවතුණේ ය. 10එලීෂා පණිවුඩකරුවකු ඔහු වෙත යවමින්, “යන්න, යොර්දාන් නදියේ හත් වරක් සේදෙන්න. ඔබේ මාංසය ප්‍රකෘතිමත් වී, ඔබ පවිත්‍ර වනු ඇතැ” යි කියා යැවී ය.
11එහෙත් නාමාන් කෝපයෙන් හැරී යමින්, “ඇත්තෙන් ම මා සිතුවේ, ඔහු ඇවිත් මා ළඟ සිටගෙන, ඔහුගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේගේ නාමය කියා, කුෂ්ඨයට උඩින් අත වනා, මගේ කුෂ්ඨය සුව කරනු ඇත කියායි. 12දමස්කයේ අබානා හා පර්පර් යන ගංගා ඉශ්‍රායෙලයේ සියලු ගං ජලයට වඩා කොපමණ හොඳ ද? මට ඒවායේ සේදී පවිත්‍ර වන්නට බැරි දැ?” යි පැවසී ය. එබැවින් ඔහු කෝපයෙන් ආපසු හැරී ගියේ ය.
13එවිට නාමාන්ගේ සේවකයෝ ඔහු වෙත අවුත්, “මගේ පියාණෙනි, ඒ දිවැසිවරයා ලොකු දෙයක් කරන්නැයි කීවා නම්, ඔබ එය කරන්නේ නැද්ද? ඔහු ඔබට කීවේ, ‘සේදී පවිත්‍ර වන්න’ කියා නො වේ දැ?” යි පැවසූහ. 14එබැවින් ඔහු ගොස්, යොර්දාන් නදියෙහි හත් වරක් ගිලුණේ ය. එවිට දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයා ඔහුට කී පරිදි, ඔහුගේ මාංසය ප්‍රකෘතිමත් වී, කුඩා දරුවකුගේ මෙන් පැහැපත් විය.
15ඉන්පසු නාමාන් හා ඔහුගේ පිරිවර දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයා වෙත ආපසු ගියෝ ය. නාමාන් ඔහු අබියස සිටගෙන, “දැන් මම දන්නවා ඉශ්‍රායෙල්හි මිස, ලෝකයේ වෙන දෙවියන්වහන්සේ කෙනකු නැති වග. කරුණාකර දැන් ඔබේ සේවකයා වෙතින් තෑග්ගක් පිළිගන්නැ” යි කීවේ ය.
16දිවැසිවරයා පිළිතුරු දෙමින්, “මා සේවය කරන ස්වාමින්වහන්සේ ජීවත් වන වග සැබෑ සේ ම, මා කිසිවක් පිළිගන්නේ නැතැ” යි පැවසී ය. නාමාන් පෙරැත්ත කළත් ඔහු එය ප්‍රතික්ෂේප කළේ ය.
17“ඔබ පිළිගන්නේ නැත්නම්, කරුණාකර කොටළුවන් දෙදෙනකුට ගෙන යන්නට හැකි තරම් පස් ගෙන යන්නට ඔබගේ සේවක මා හට අවසර දෙන්න. මින් පසු ඔබගේ සේවකයා ස්වාමින්වහන්සේට මිස වෙන කිසි දෙවි කෙනකුට දවන යාග පූජා හෝ යාග පූජා හෝ පුදන්නේ නැත. 18එහෙත් ස්වාමින්වහන්සේ ඔබේ සේවකයාට මේ කාරණය ගැන කමා වන සේක්වා: මගේ ස්වාමියා වඳින්නට රිම්මෝන් දෙවොලට ඇතුල්වන්නේ මගේ අතට හේත්තු වීයි. එවිට මට ද වඳින්නට සිදු වෙයි. එසේ මා රිම්මෝන් දෙවොලේ වඳින කල, ස්වාමින්වහන්සේ ඔබගේ සේවකයාට කමා වන සේක්වා!” යි නාමාන් පැවසී ය.
19“සාමයෙන් යන්නැ” යි එලීෂා පැවසී ය.
නාමාන් ටික දුරක් ගමන් කළ පසු, 20දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයා වූ එලීෂාගේ සේවක ගෙහාසී, “මගේ හාම්පුතා මේ අරාමීය නාමාන් ගෙනා දේ බාර නො ගෙන ඔහුට නිකම් යන්නට ඉඩ හැරියා. ස්වාමින්වහන්සේ ජීවත් වන වග සැබෑ සේ ම, ඔහු පස්සේ දුව ගොස්, මා ඔහුගෙන් යමක් ලබා ගන්නවා යැ” යි තමාට ම කියා ගත්තේ ය.
21එබැවින් ගෙහාසී, නාමාන් පසු පස දිවී ය. ඔහු තමා දෙසට දිවගෙන එනවා නාමාන් දැක, ඔහු හමු වන්නට රථයෙන් බිමට බැස්සේ ය. “හැම දෙයක් ම හොඳින් දැ?” යි ඇසී ය.
22“ඔව්, සියල්ල හොඳින්. මගේ ස්වාමියා මා එවුවේ, ‘දිවැසිවර කණ්ඩායමේ යෞවනයන් දෙදෙනෙක් එප්‍රායිම් කඳු රටේ සිට මේ දැන් මා වෙත ආවා. කරුණාකර ඔවුන්ට රිදී තලෙන්තයකුත්#5:22 කිලෝග්‍රෑම් 34ක් පමණ, ඇඳුම් කට්ටල දෙකකුත් දෙන්න’ කියා කියන්නට යැ” යි කීවේ ය.
23එවිට නාමාන්, “එසේ නම් තලෙන්ත දෙකක් ම පිළිගන්නැ” යි පැවසී ය. ඒවා පිළිගන්නැයි ගෙහාසීට පෙරැත්ත කළ ඔහු, රිදී තලෙන්ත දෙක මලු දෙකක ගැට ගසා, ඇඳුම් කට්ටල දෙක සමඟ තම සේවකයින් දෙදෙනකුට භාර දුන්නේ ය. ඔවුහු ගෙහාසීට පෙරටුව ඒවා උසුලාගෙන ගියහ. 24ගෙහාසී හෙල වෙත පැමිණි කල, සේවකයින් අතින් ඒවා ගෙන ගෙයි තැබී ය. ඔහු ඒ මිනිසුන් පිටත් කොට හැරියෙන් ඔවුහු ගියහ.
25ඉන්පසු ඔහු ඇතුළට ගොස්, තම හාම්පුතා වූ එලීෂා ඉදිරියේ සිට ගත්තේ ය. “ගෙහාසී, ඔබ කොහේ ද සිටියේ?” යි එලීෂා ඇසී ය.
“ඔබේ සේවකයා කොහේවත් ගියේ නැතැ” යි ගෙහාසී පිළිතුරු දුන්නේ ය.
26එහෙත් එලීෂා ඔහු අමතා, “ඒ මිනිසා තම රථයෙන් බැස, ඔබ හමු වන්නට පැමිණි කල, මගේ ආත්මය නුඹ සමඟ ගියේ නැද්ද? මුදල් ගන්නටවත්, ඇඳුම් හෝ ඔලීව වතු හෝ මිදි වතු හෝ බැටළුවන් හෝ ගවයින් හෝ දාසයින් හෝ දාසියන් හෝ පිළිගන්නටවත් මේ යුතු වේලාවක් ද? 27එබැවින් නාමාන්ගේ කුෂ්ඨය නුඹටත්, නුඹෙන් පැවත එන්නන්ටත් සදහට ම ඇලී පවතින්නේ යැ” යි පැවසී ය. එවිට ගෙහාසී හිම මෙන් සුදු ව කුෂ්ඨය වැලඳී එලීෂා ඉදිරියෙන් පිට ව ගියේ ය.

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in