2 රාජාවලිය 5:2-10
2 රාජාවලිය 5:2-10 SCV
අරාම්හි සිට පිටත් ව ගිය ආක්‍රමණික කණ්ඩායම් ඉශ්‍රායෙලයෙන් කුඩා කෙල්ලක අල්ලා ගෙනැවිත් තිබිණි. ඈ නාමාන්ගේ බිරිඳට මෙහෙ කළා ය. ඇගේ ස්වාමි දූ ඇමතූ ඈ, “මගේ හාම්පුතා සමාරියේ සිටින දිවැසිවරයා ඉදිරියේ පෙනී සිටියොත්! මොහුගේ කුෂ්ඨය, ඔහු සුව කරනු ඇතැ” යි කීවා ය. නාමාන් තම ස්වාමියා වෙත ගොස්, ඉශ්‍රායෙලයෙන් ආ කෙල්ල කියා තිබූ දෑ ඔහුට පැවසී ය. “දැන් ම යන්නැ” යි පිළිතුරු දුන් අරාම්හි රජු, “ඉශ්‍රායෙල් රජුට මා ලිපියක් යවන්නම්” යැයි කී ය. එබැවින් නාමාන් රිදී තලෙන්ත දහයක්, රන් ෂෙකෙල් හයදාහක් හා ඇඳුම් කට්ටල දහයක් රැගෙන පිටත් ව ගියේ ය. ඔහු ඉශ්‍රායෙල් රජුට ගෙනා ලිපියේ සඳහන් වූයේ, “මේ ලිපිය සමඟ මගේ සේවක නාමාන් ඔබ වෙත එවමි. ඔහුගේ කුෂ්ඨ රෝගය සුවකරන්නැ” යි යනුවෙනි. ඉශ්‍රායෙල් රජු එම ලිපිය කියැවූ සැණින්, තම හැඳිවත් ඉරාගෙන, “මා දෙවියන්වහන්සේ ද? මරන්නටත්, යළි ජීවත් කරන්නටත් මට පුළුවන් ද? මේ මිනිහා කුෂ්ඨයක් සුව කරන්නට මිනිහකු මා ළඟට එවන්නේ මොන එහෙකට ද? පෙනේ ද ඔහු මා සමඟ කලහයකට අර අඳින හැටි” යි කී ය. ඉශ්‍රායෙල් රජු තම හැඳිවත් ඉරා ගත් වග ඇසූ දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයා වූ එලීෂා, “ඔබේ හැඳිවත් ඉරා ගත්තේ ඇයි? ඒ මිනිහා මා වෙත ආවා වේ. ඉශ්‍රායෙල්හි දිවැසිවරයකු සිටින වග ඔහු දැනගනු ඇතැ” යි කියා යැවී ය. එබැවින් නාමාන් තම අශ්වයින් හා රථ කැටුව එලීෂාගේ නිවසේ දොරකඩ ළඟ නැවතුණේ ය. එලීෂා පණිවුඩකරුවකු ඔහු වෙත යවමින්, “යන්න, යොර්දාන් නදියේ හත් වරක් සේදෙන්න. ඔබේ මාංසය ප්‍රකෘතිමත් වී, ඔබ පවිත්‍ර වනු ඇතැ” යි කියා යැවී ය.





