2 රාජාවලිය 25:1-30
2 රාජාවලිය 25:1-30 SCV
එබැවින් සෙදෙකියාගේ පාලනයේ නව වන වසරේ, දහ වන මස, දහ වන දින බබිලෝනියේ රජු වූ නෙබුකද්නෙසර් තම මුළු හමුදාව සමඟ යෙරුසලමට එරෙහිව පැමිණියේ ය. ඔහු පුරවරයට පිටතින් කඳවුරු ගසා, ඒ වටා වැටලුම් පවුරු ඉදි කළේ ය. මෙසේ සෙදෙකියා රජුගේ එකොළොස් වන වසර දක්වා ම පුරවරය වටලනු ලැබ තිබිණ. හතර වන මස, නව වන දින වන විට ජනතාවට කෑමට ආහාර නොමැති තරමට පුරවරයේ සාගතය ඉතා උග්‍ර විය. මෙවිට පුර පවුර බිඳ, මුළු මහත් හමුදාව පලා ගියහ. කල්දිවරුන් පුරවරය වටා සිටි නමුදු, ඔවුහු රජ උයන අසල පවුරු යුගල අතරේ වූ දොරටුවෙන් රාත්‍රියේ පලා ගොස්, අරාබා දෙසට ගමන් ගත්හ. එහෙත් කල්දිවරුන්ගේ හමුදාව, සෙදෙකියා රජු ලුහුබැඳ යෙරිකෝ තැන්නේදී ඔහු අල්ලා ගත්තේ ය. ඔහුගේ සියලු හේවායෝ ඔහු වෙතින් බැහැර කොට, විසුරුවන ලදහ. මෙසේ ඔහු අල්ලා ගනු ලැබ, හමාත් දේශයේ රිබ්ලාහි වූ බබිලෝනි රජු වෙත ගෙන යන ලදී. එහිදී රජු ඔහු ගැන විනිශ්චය දුන්නේ ය. ඔවුහු සෙදෙකියා ඉදිරිපිටදී ම ඔහුගේ පුතුන් මැරූහ. ඉන්පසු ඔවුහු සෙදෙකියාගේ ඇස් උගුල්ලා, ලෝකඩ විලංගු ලා, ඔහු බබිලෝනියට ගෙන ගියහ. බබිලෝනියේ රජු වූ නෙබුකද්නෙසර්ගේ දහනව වන වසරේ, පස් වන මස, හත් වන දින රාජකීය ආරක්ෂක සේනාධිපති හා බබිලෝනි රජුගේ නිලධාරියකු වූ නෙබුසරදාන්, යෙරුසලමට පැමිණියේ ය. ඔහු ස්වාමින්වහන්සේගේ ගෘහය ද රාජ මාලිගය ද යෙරුසලමේ සියලු නිවාස ද හැම විශාල ගොඩනැගිල්ලක් ද දවා දැමී ය. ආරක්ෂක සේනාධිපති යටතේ වූ මුළු බබිලෝනි හමුදාව, යෙරුසලම වටා තිබූ පවුර බිඳ දැමූහ. තවද පුරයේ ඉතිරි ව සිටි ජනයා ද බබිලෝනියේ රජු වෙත පලා ගොස් සිටි ජනයා ද ඉතිරි ජන සමූහයා සමඟින් ආරක්ෂක සේනාධිපති නෙබුසරදාන් විසින් පිටුවහල් කොට ගෙන යනු ලැබිණි. එහෙත් ආරක්ෂක සේනාධිපති මිදි වතු හා කෙත් වතුවල වැඩ කරන පිණිස දේශයේ අන්ත දුගීන් ඇතැම් දෙනකු නතර කළේ ය. ස්වාමින්වහන්සේගේ ගෘහයේ තිබූ ලෝකඩ කුලුනු ද ස්වාමින්වහන්සේගේ ගෘහයේ තිබූ රඳවන ද ලෝකඩ මුහුදු තටාකය ද කල්දිවරු කැබලි කොට, ලෝකඩ බබිලෝනියට ගෙන ගියහ. තවද ඔවුහු මුට්ටි ද හැඳි ද පහන් තිර කපන කතුරු ද ලේ ඉසින බඳුන් ද තැටි ද දේව මාලිග සේවා සඳහා උපයෝගී කොට ගත් ලෝකඩ උපකරණ සියල්ල ද ගෙන ගියහ. ආරක්ෂක සේනාධිපති පවිත්‍ර රනින් හා පවිත්‍ර රිදීයෙන් සාදන ලද සියල්ල වන දුම් කබල් හා පැන් ඉසින පාත්‍ර රන් සහ රිදී ලෙස ගෙන ගියේ ය. ස්වාමින්වහන්සේගේ ගෘහය උදෙසා සාලමොන් විසින් සාදන ලද කුලුනු යුගලේ, මුහුදු තටාකයේ හා රඳවනවල ලෝකඩවල බර කිරන්නට බැරි තරමට තිබිණ. එක් කුලුනක් උසින් රියන් දහඅටකි. එක් කුලුනක මුඳුනත වූ ලෝකඩ පේකඩය උසින් රියන් තුනකි. එය වටා කැටයම් කළ දැල් හා දෙළුම් ගෙඩි සැරසිලි තිබිණි. අනෙක් කුලුනත් එහි දැල් වැඩත් ඒ හා සමාන විය. ආරක්ෂක සේනාධිපති, ප්‍රධාන පූජක සෙරායා ද දෙවන පූජක සෙෆනියා ද දොරටුපාලයින් තිදෙනා ද සිරකරුවන් කොට අල්ලා ගත්තේ ය. ඒ වන තුරු ම පුරයේ සිටි යුද්ධ භටයින් බාර නිලධාරියා ද රාජ උපදේශකයින් පස් දෙනකු ද ඔහු අල්ලා ගත්තේ ය. යුද්ධයට දේශයේ මිනිසුන් ලියාපදිංචි කරවීම බාර ප්‍රධානියා වූ ලේකම්වරයා හා පුරවරයේ සිටි මිනිසුන් හැටදෙනකු ද ඔහු අල්ලා ගත්තේ ය. ආරක්ෂක සේනාධිපති නෙබුසරදාන් ඔවුන් සියලු දෙනා අල්ලාගෙන, රිබ්ලාහි සිටි බබිලෝනි රජු වෙත ඔවුන් ගෙන ආවේ ය. හමාත් දේශයේ රිබ්ලාහි දී බබිලෝනි රජු ඔවුන් ගසා හෙළා, මරා දැමී ය. මෙසේ යූදා, තම දේශයෙන් පිටතට, පිටුවහල් කොට ගෙන යනු ලැබුවේ ය. බබිලෝනියේ රජු වූ නෙබුකද්නෙසර්, යූදා දේශයෙහි ඉතිරි කර ගිය මිනිසුන්ගේ අධිපතියා හැටියට ෂාෆාන්ගේ පුත්, අහිකාම්ගේ පුත් ගෙදලියා පත් කළේ ය. බබිලෝනියේ රජු ආණ්ඩුකරු හැටියට ගෙදලියා පත් කර ඇති වග ඇසූ සියලු හමුදා නිලධාරීහු හා ඔවුන්ගේ මිනිස්සු, එනම් නෙතනියාගේ පුත් ඉෂ්මායෙල් ද කාරේයාගේ පුත් යෝහානාන් ද නෙටොෆාතීය තන්හුමෙත්ගේ පුත් සෙරායා ද මාකාතියාගේ පුත් යාසනියා ද ඔවුන්ගේ මිනිස්සු ද මිස්පාහි ගෙදලියා වෙත ආහ. ගෙදලියා ඔවුන් හා ඔවුන්ගේ මිනිසුන්ට දිවුරුමකින් සහතික වෙමින්, “කල්දිවරුන්ගේ නිලධාරීන්ට භය වෙන්න එපා. දේශයෙහි වාසය කරමින්, බබිලෝනියේ රජුට මෙහෙ කරන්න. එයින් ඔබට සෙත සැලසේවී” යි පැවසී ය. එහෙත් හත් වන මාසයේ රාජවංශික එලිෂාමාගේ පුත් නෙතනියාගේ පුත් ඉෂ්මායෙල් මිනිසුන් දහ දෙනකු සමඟ අවුත්, ගෙදලියා ද මිස්පාහි ඔහු සමඟ සිටි යූදාවරුන් හා කල්දිවරුන් ද ඝාතන කළේ ය. මේ නිසා ලොකු කුඩා සියලු මිනිස්සු හමුදා නිලධාරීන් සමඟ කල්දිවරුන්ට බියෙන් ඊජිප්තුවට පලා ගියහ. යූදා රජු වූ යෙහෝයාකීන්ගේ පිටුවහල් ව සිටීමේ තිස්හත් වන අවුරුද්දේ එවීල්-මෙරොදක් බබිලෝනියේ රජකමට පත් විය. ඔහු දොළොස් වන මස විසිහත් වන දින යෙහෝයාකීන් සිර ගෙයින් නිදහස් කළේ ය. ඔහු කරුණාවෙන් ඔහුට කතා කර, බබිලෝනියේ තමා සමඟ සිටි සෙසු රජුන්ගේ ආසනවලට වඩා ගෞරවනීය තැනක් ඔහුට දුන්නේ ය. එබැවින් යෙහෝයාකීන් තම සිර ඇඳුම් ඉවත ලා, තම ජීවිතයේ ඉතිරි කාලයේ දිනපතා ම රජුගේ මේසයේ හිඳ කෑම කෑවේ ය. රජු යෙහෝයාකීන්ගේ මරණය දක්වා ඔහුගේ ජීවිත කාලය පුරා ම ඔහුට නිත්‍ය කොටසක් දිනපතා දුන්නේ ය.





