2 රාජාවලිය 22:14-20
2 රාජාවලිය 22:14-20 SCV
පූජක හිල්කීයා ද අහිකාම් ද අක්බෝර් ද ෂාෆාන් හා අසායා ද හුල්දා දිවැසිවරියට කතා කරන්නට ඇය වෙත ගියහ. යෙරුසලමේ දෙවන වසමේ විසූ ඈ තොමෝ හර්හස්ගේ පුත්, තික්වාගේ පුත්, ඇඳුම් ආයිත්තම් භාරකරු වූ ෂල්ලූම්ගේ බිරිඳ වූවා ය. ඈ ඔවුන් අමතමින්, “ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ මෙසේ පවසන සේකැයි මා වෙත ඔබ එවූ මිනිසාට කියන්න: ‘ස්වාමින්වහන්සේ පවසා සිටින්නේ: යූදා රජු කියවූ පොතේ සඳහන් සියල්ලට අනුව මේ ස්ථානයටත්, එහි වෙසෙන ජනයා පිටටත් මම විපත්තිය පමුණු වන්නෙමි. මන්ද ඔවුහු මා අත්හැර දමා, වෙනත් දෙවිවරුන්ට සුවඳ දුම් ඔප්පු කළහ. ඔවුන්ගේ අත්වලින් සෑදූ සියලු දේවතා පිළිම මගින් මා කෝප ගැන් වූ බැවින්, මේ ස්ථානයට එරෙහිව මගේ උදහස ඇවිළෙනු ඇත. එය නිවා දැමෙන්නේ නැතැ’ යි යනුවෙනි. ස්වාමින්වහන්සේගෙන් විමසන පිණිස ඔබ එවූ යූදාහි රජුට මෙසේ කියන්න: ‘ඔබ ඇසූ වචන සම්බන්ධ ව ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ පවසා සිටින්නේ: මේ ස්ථානය ආලාපාළු වී, එහි ජනතාව ශාපයක් වන්නේ යැයි මේ ස්ථානයටත්, එහි ජනයාටත් එරෙහිව මා පැවසූ වචනය ඔබ ඇසූ කල, ඔබ හදවතින් ප්‍රතිචාර දක්වා, ස්වාමින්වහන්සේ අබියස ඔබ ම යටහත් වූ බැවින්, ඔබේ හැඳිවත් ඉරාගෙන මා අබියස වැලපුණු බැවින් මමත් ඔබට සවන් දුනිමියි ස්වාමින්වහන්සේ පවසන සේක. එබැවින් මම ඔබේ පියවරුන් අතරට ඔබ එකතු කරන්නෙමි. සමාදානය ඇතුව ඔබ මිනී වළට යනු ඇත. මා මේ ස්ථානයට පමුණු වන්නට යන විපත්තිය ඔබේ ඇස්වලින් දකින්නේ නැත’ කියා යැ” යි පැවසුවා ය. එබැවින් ඔවුහු ඇගේ පිළිතුර රැගෙන රජු වෙත ආපසු ගියහ.





