YouVersion Logo
Search Icon

2 රාජාවලිය 19:1-7

2 රාජාවලිය 19:1-7 SCV

හෙසකියා රජු ඒ ඇසූ කල, තම හැඳිවත් ඉරාගෙන, ගෝණි රෙදි ඇඟ දවටා, ස්වාමින්වහන්සේගේ ගෘහයට ඇතුළු විය. තවද ගෝණි රෙදි හැඳි රජ මැදුරු පාලක එලියාකීම් ද ලේකම්වරයා වූ ෂෙබ්නා ද ප්‍රධාන පූජකයින් ද ඔහු ආමෝස්ගේ පුත්‍ර දිවැසිවර යෙසායා වෙත පිටත් කළේ ය. ඔවුහු ඔහු අමතා, “හෙසකියා මෙසේ කියයි: ‘අද දවස විපත්තියේ, තරවටුවේ හා නින්දාවේ දවසක්; දරුවන් උපදින මොහොතට පැමිණ ඇති නමුත් ඔවුන් බිහි කරන්නට ශක්තිය නැත. ජීවමාන දෙවියන්වහන්සේට අපහාස කරන්නට, ඔහුගේ ස්වාමියා වන අසිරියාවේ රජු විසින් එවන ලද ක්ෂේත්‍ර අණ දෙන්නාගේ සියලු වචන ඇතැම් විට ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ අසන්නට ඇත. ඇතැම් විට ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ ඇසූ වදන් ගැන උන්වහන්සේ ඔහුට තරවටු කරනු ඇත. එබැවින් තවමත් ජීවත් ව සිටින ඉතිරි ස්වල්ප දෙනා උදෙසා යාච්ඤාව ඔසවන්න’ කියා කියතැ” යි පැවසූහ. හෙසකියා රජුගේ නිලධාරීන් යෙසායා වෙත ආ කල, ඔවුන් ඇමතූ යෙසායා, “ස්වාමින්වහන්සේ මෙසේ කියන සේක කියා ඔබේ හාම්පුතාට කියන්න: ‘ඔබ ඇසූ දෑ ගැන, අසිරියාවේ රජුගේ සේවකයින් මට කළ අපහාසයේ වචන ගැන, භය නො වන්න. ඔන්න! කිසියම් ආරංචියක් අසා තමාගේ ම රටට ආපසු හැරී යන පිණිස, මම ඔහු තුළ ආත්මයක් තබමි. ඔහුගේ ම දේශයේදී ඔහු කඩු මුවහතින් වැටෙන්නට මම සලස්වන්නෙමි’ යි” පැවසී ය.