YouVersion Logo
Search Icon

2 රාජාවලිය 19:1-19

2 රාජාවලිය 19:1-19 SCV

හෙසකියා රජු ඒ ඇසූ කල, තම හැඳිවත් ඉරාගෙන, ගෝණි රෙදි ඇඟ දවටා, ස්වාමින්වහන්සේගේ ගෘහයට ඇතුළු විය. තවද ගෝණි රෙදි හැඳි රජ මැදුරු පාලක එලියාකීම් ද ලේකම්වරයා වූ ෂෙබ්නා ද ප්‍රධාන පූජකයින් ද ඔහු ආමෝස්ගේ පුත්‍ර දිවැසිවර යෙසායා වෙත පිටත් කළේ ය. ඔවුහු ඔහු අමතා, “හෙසකියා මෙසේ කියයි: ‘අද දවස විපත්තියේ, තරවටුවේ හා නින්දාවේ දවසක්; දරුවන් උපදින මොහොතට පැමිණ ඇති නමුත් ඔවුන් බිහි කරන්නට ශක්තිය නැත. ජීවමාන දෙවියන්වහන්සේට අපහාස කරන්නට, ඔහුගේ ස්වාමියා වන අසිරියාවේ රජු විසින් එවන ලද ක්ෂේත්‍ර අණ දෙන්නාගේ සියලු වචන ඇතැම් විට ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ අසන්නට ඇත. ඇතැම් විට ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ ඇසූ වදන් ගැන උන්වහන්සේ ඔහුට තරවටු කරනු ඇත. එබැවින් තවමත් ජීවත් ව සිටින ඉතිරි ස්වල්ප දෙනා උදෙසා යාච්ඤාව ඔසවන්න’ කියා කියතැ” යි පැවසූහ. හෙසකියා රජුගේ නිලධාරීන් යෙසායා වෙත ආ කල, ඔවුන් ඇමතූ යෙසායා, “ස්වාමින්වහන්සේ මෙසේ කියන සේක කියා ඔබේ හාම්පුතාට කියන්න: ‘ඔබ ඇසූ දෑ ගැන, අසිරියාවේ රජුගේ සේවකයින් මට කළ අපහාසයේ වචන ගැන, භය නො වන්න. ඔන්න! කිසියම් ආරංචියක් අසා තමාගේ ම රටට ආපසු හැරී යන පිණිස, මම ඔහු තුළ ආත්මයක් තබමි. ඔහුගේ ම දේශයේදී ඔහු කඩු මුවහතින් වැටෙන්නට මම සලස්වන්නෙමි’ යි” පැවසී ය. අසිරියාවේ රජු ලාකීෂ් පෙදෙස හැර ගොස් ඇති වග ක්ෂේත්‍ර අණ දෙන්නාට සැල වූයෙන්, ඔහු ආපසු ගියේ ය. රජු ලිබ්නා පුරයට එරෙහිව සටන් වැද සිටිනු ඔහුට හමු විණි. එකල කූෂීය රජු වූ තිර්හාකා පිළිබඳව, “ඔබට එරෙහිව සටන් වදින්නට ඔහු පිටත් ව එන්නේ ය” යන පුවතක් සෙනකෙරීබ් රජුට ලැබිණ. එබැවින් ඔහු නැවතත් හෙසකියා රජු වෙත පණිවුඩකරුවන් පිටත් කර, මෙසේ දැන්වී ය. “යූදාහි රජු වූ හෙසකියාට ඔබ මෙසේ කියන්න: ‘අසිරියාවේ රජු අතට යෙරුසලම යටත් කර දෙනු නො ලැබේ ය’ කියමින් ඔබ රවටන්නට ඔබ විශ්වාසය තබන දෙවියන්වහන්සේට ඉඩ නො දෙන්න. මෙන්න, අසිරියාවේ රජුන් හැම රටක් ම විනාශයට කැප කරමින්, ඒවාට කළ හදිය ගැන ඔබ අසා ඇත. ඉදින්, ඔබට ගැලවිය හැකි වේ ද? මගේ පියවරුන් විනාශ කළ ජාතීන්ගේ දෙවිවරුන් වන ගෝසාන්, හාරාන්, රෙසෙෆ් හා තෙලස්සාර්හි එදෙන් ජනයාගේ දෙවිවරුන් ඔවුන් මුදා ගත්තා ද? හමාත්හි රජු කොහේ ද? අර්පාද්හි රජු කොහේ ද? සෙෆර්වයිම් පුරෙහි රජු හෝ හේනාහි හෝ ඉව්වාහි හෝ රජුන් කොහේ ද?” පණිවුඩකරුවන් වෙතින් ලිපිය ගත් හෙසකියා එය කියවී ය. ඉන්පසු හෙසකියා ස්වාමින්වහන්සේගේ ගෘහය වෙත ගොස්, ස්වාමින්වහන්සේ ඉදිරියෙහි එය දිග හළේ ය. හෙසකියා ස්වාමින්වහන්සේට යාච්ඤා කරමින්, “අහෝ! ස්වාමින්වහන්ස, කෙරුබ්වරුන් මැද සිංහාසනාරූඪ ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්ස, මිහි පිට සියලු රාජ්‍යයන්ට දෙවියන්වහන්සේ ඔබ ය. ඔබ පමණක් ම ය. අහසත්, පොළොවත් මැවුවේ ඔබවහන්සේ ය. සවන් දී අසන්න, අහෝ ස්වාමින්වහන්ස; ඔබේ ඇස් විවර කර බලන්න, අහෝ ස්වාමින්වහන්ස; ජීවමාන දෙවියන්වහන්සේට නිග්‍රහ කරමින් සෙනකෙරීබ් විසින් එවන ලද වචනවලට සවන් දෙන්න. “අහෝ ස්වාමින්වහන්ස, ඒ ජනයින් හා ඔවුන්ගේ දේශ අසිරියාවේ රජුන් විසින් වනසා දමන ලද වග සැබෑ ය. ඔවුහු ඒ ජාතීන්ගේ දෙවිවරුන් ගින්නෙහි හෙළුෑහ. මන්ද ඔවුන් දෙවිවරුන් නො වෙයි. මිනිස් අතින් නිමැවුණු ලී හා ගල් පමණක් ම ය. එබැවින් ඔවුහු විනාශ කරන ලදහ. එබැවින් දැන් අහෝ ස්වාමින්වහන්ස, අපේ දෙවියන්වහන්ස, මිහි පිට සියලු රාජ්‍යයන් ස්වාමින්වහන්සේ වන ඔබ පමණක් දෙවියන්වහන්සේ වග දැනගන්නා පිණිස, ඔහු අතින් අප මුදා ගත මැනව” යි ඉල්ලී ය.