YouVersion Logo
Search Icon

2 රාජාවලිය 17

17
ඉශ්‍රායෙලයේ අවසන් රජ වන හෝෂෙයා
1යූදා රජු වූ ආහාස්ගේ දොළොස් වන අවුරුද්දේ ඒලාගේ පුත් හෝෂෙයා, සමාරියේදී ඉශ්‍රායෙල්හි රජකමට පත් විය. ඔහු අවුරුදු නවයක් රජකම් කළේ ය. 2ඔහු ස්වාමින්වහන්සේගේ ඇස් හමුවෙහි නපුරු දෑ කළේ ය. එහෙත් ඔහුට කලින් සිටි ඉශ්‍රායෙල් රජවරුන් කළ ලෙස නො වේ ය.
3අසිරියාවේ රජු වූ ෂල්මනෙසෙර්, හෝෂෙයාට එරෙහිව ආවේ ය. හෝෂෙයා, ෂල්මනෙසෙර්ගේ සේවකයකු වී, ඔහුට කප්පම් ගෙවී ය. 4එහෙත් හෝෂෙයා ද්‍රෝහියකු වූ වග අසිරියාවේ රජුට අනාවරණ විය. මන්ද හෝෂෙයා, ඊජිප්තුවේ රජු වූ සෝ වෙත නියෝජිතයින් යවා තිබිණ. තවද ඔහු අවුරුදු පතා කළ පරිදි අසිරියාවේ රජුට කප්පම් නො ගෙවා සිටියේ ය. එබැවින් ෂල්මනෙසෙර් ඔහු අල්ලා හිරගෙයි දැමී ය. 5අසිරියාවේ රජු මුළු මහත් දේශය ම ආක්‍රමණ කළේ ය. ඔහු සමාරියට එරෙහිව අවුත්, වසර තුනක් එය වටලා සිටියේ ය. 6හෝෂෙයා රජුගේ නවවෙනි වසරේ අසිරියාවේ රජු සමාරිය අල්ලාගෙන, ඉශ්‍රායෙල්වරුන් අසිරියාවට පිටුවහල් කර හැරියේ ය. ඔහු හලා ද හාබොර් ගඟ එපිට ගෝසාන් ද මේදවරුන්ගේ නගරවල ද ඔවුන් පදිංචි කරවී ය.
ඉශ්‍රායෙල් ජනයා වහල් බවට පත්වීම
7එසේ වූයේ ඊජිප්තුවේ රජු වූ පාරාවෝ අතින් මුදා, ඊජිප්තුවෙන් පිටතට ඔවුන් ගෙන ආ තැනැන්වහන්සේ වන ඔවුන්ගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේට එරෙහිව ඉශ්‍රායෙල් පව් කළ නිසා ය. ඔවුහු අන් දෙවිවරුන්ට වැඳුම් පිදුම් කරමින්, 8ඉශ්‍රායෙල් ජනයා ඉදිරිපිටින් ස්වාමින්වහන්සේ පන්නා දැමූ ජාතීන්ගේ චාරිත්‍ර හා ඉශ්‍රායෙල් රජවරුන් හඳුන්වා දුන් චාරිත්‍රවල ගැලුණහ. 9ඉශ්‍රායෙල්වරුන් තම දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේට එරෙහිව නුසුදුසු දෑ රහසිගත ව කළහ. මුර කොටු පටන් බළකොටු පුරවර දක්වා ඔවුහු තමන්ගේ හැම නගරයක ම තමන්ට උස් තැන් පුදසුන් සාදා ගත්හ. 10ඔවුහු හැම උස් හෙලකම හා අතු විහිදුණු හැම ගසක් යට රූප ස්තම්භ ද අෂේරා කණු ද පිහිටුවා ගත්හ. 11ස්වාමින්වහන්සේ ඔවුන් ඉදිරිපිටින් පන්නා දැමූ ජාතීන් කළ පරිදි ඔවුහු හැම උස් තැන් පුදසුනක ම සුවඳ දුම් දැවූහ. ඔවුහු ස්වාමින්වහන්සේ උදහස් කරවන දුෂ්ටකම් කළෝ ය. 12“ඔබ මෙසේ නො කළ යුතු යැ” යි ස්වාමින්වහන්සේ ඔවුන්ට පවසා තිබුණ ද ඔවුහු පිළිමවලට වැඳුම් පිදුම් කළහ. 13“ඔබේ නපුරු මාර්ගවලින් ඉවත හැරෙන්න. කීකරු වීමට මා නුඹලාගේ පියවරුන්ට අණ කළ හා මගේ සේවක දිවැසිවරුන් මගින් ඔබ අතට පත් කළ මුළු ව්‍යවස්ථාවට අනුව මගේ ආඥා හා මගේ නියෝග රක්ෂා කරන්නැ” යි ස්වාමින්වහන්සේ තම සියලු දිවැසිවරුන් හා අනාගතවක්තෘවරුන් මගින් ඉශ්‍රායෙල්ට හා යූදාට අනතුරු අඟවා තිබිණි.
14එහෙත් ඔවුන් ඊට සවන් නුදුන්නේ තම දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ තුළ විශ්වාසය නො තැබූ තම ආදි පියවරුන් මෙන් මුරණ්ඩුකමිනි. 15උන්වහන්සේගේ නියෝග ද උන්වහන්සේ ඔවුන්ගේ පියවරුන් සමඟ කර තිබූ ගිවිසුම ද උන්වහන්සේ ඔවුන්ට අවවාද කර තිබූ පනත් ද ඔවුහු ප්‍රතික්ෂේප කළහ. ඔවුහු වැදගැම්මකට නැති පිළිම පසු පස යමින් තමන් ද වැදගැම්මකට නැත්තෝ වූහ. “ඔවුන් අනුකරණ නො කරන්නැ” යි ස්වාමින්වහන්සේ ඔවුන්ට නියෝග කර තිබුණත්, ඔවුහු තමන් වටා සිටි ජාතීන් අනුකරණ කළහ.
16ඔවුහු තම දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේගේ සියලු ආඥා අත්හැර, තමන්ට වාත්තු කළ වසු පැටි පිළිම දෙකක් හා අෂේරා රූප ස්තම්භයක් සාදා ගෙන, සියලු ග්‍රහ-තරු සේනාවට නමස්කාර කරමින්, බාල් දෙවියාටත් සේවය කළහ. 17ඔවුහු තම පුතුන් හා දූවරුන් ගින්නෙන් පූජා කළහ. ඔවුහු පේනකීම්වල ද නිමිති බැලීම්වල ද නිරත වූහ. ඔවුහු ස්වාමින්වහන්සේ කුපිත කරවමින් උන්වහන්සේගේ ඇස් හමුවෙහි නපුරු දේ කරන්නට තමන් ම බාර වූහ.
18එබැවින් ස්වාමින්වහන්සේ, ඉශ්‍රායෙල් සමඟ බෙහෙවින් කෝප වී, තමන් අබියසින් ඔවුන් ඉවත් කර දැමූ සේක. ඉතිරි වූයේ යූදා ගෝත්‍ර වංශය පමණි. 19යූදා පවා තම දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේගේ ආඥා රක්ෂා කළේ නැත. ඔවුහු ඉශ්‍රායෙල් විසින් තමන්ට හඳුන්වා දී තිබූ වත් පිළිවෙත් අනුගමන කළහ. 20එබැවින් ස්වාමින්වහන්සේ මුළු ඉශ්‍රායෙල් ජනතාව ම ප්‍රතික්ෂේප කළ සේක; උන්වහන්සේ ඔවුන්ට පීඩා පමුණුවා, තමන් අබියසින් ඔවුන් පහ කර දැමෙන තුරු කොල්ලකරුවන් අතට ඔවුන් හසුකර දුන් සේක.
21උන්වහන්සේ දාවිත්ගේ වංශයෙන් ඉශ්‍රායෙල් ඉරා දැමූ කල, ඔවුහු තමන්ගේ රජු වශයෙන් නෙබාට්ගේ පුත් යෙරොබොවම් පත් කර ගත්හ. යෙරොබොවම්, ස්වාමින්වහන්සේ අනුගමන කිරීමෙන් ඉශ්‍රායෙල්වරුන් බැහැර කොට, බරපතළ පාපයක් කරන්නට ඔවුන්ට සැලසී ය. 22ඉශ්‍රායෙල් ජනයා යෙරොබොවම්ගේ සියලු පාපවල ඇලී ගැලී සිටියාහු, එයින් ඉවත් නො වූයේ, 23ස්වාමින්වහන්සේ තම සියලු සේවකයින් වන දිවැසිවරුන් මගින් අනතුරු අඟවා තිබූ පරිදි, ඉශ්‍රායෙල් ජනයා තම ඇස් හමුවෙන් ඉවත් කර දමන තුරු ය. මෙසේ ඉශ්‍රායෙල් ජනයා තම මව් බිමේ සිට අසිරියාවට පිටුවහල් කොට ගෙන යනු ලැබූහ. අද දවස දක්වා ම ඔවුහු එහි සිටිති.
සමාරියේ නැවත පදිංචිය
24අසිරියාවේ රජු බබිලෝනි, කූතා, අව්වා, හමාත් හා සෙෆර්වයිම් වෙතින් ජනයා ගෙනැවිත්, ඉශ්‍රායෙල්වරුන් වෙනුවට සමාරියේ නගරවල පදිංචි කරවී ය. ඔවුහු සමාරිය අයිති කර ගෙන එහි නගරවල වාසය කළහ. 25ඔවුන් එහි වාසය කරන්නට වූ මුල් කාලයේදී ඔවුහු ස්වාමින්වහන්සේට භය ඇතුව නො සිටියහ; එබැවින් උන්වහන්සේ ඔවුන් අතරට සිංහයන් යැවූ සේක. උන් මිනිසුන් කීප දෙනකු මරා දැමූහ. 26එය අසිරියාවේ රජුට දන්වන ලදී: “ඔබ ගෙනවුත්, සමාරියේ නගරවල පදිංචි කර වූ ජනයා ඒ රටේ දෙවියන්ගේ වත් පිළිවෙත් දන්නේ නැත. උන්වහන්සේ ඔවුන් අතරට සිංහයන් යැවූ බැවින් උන් ජනයා මරා දමා ඇත. මන්ද දේශයේ දෙවියන්ගේ වත් පිළිවෙත් ගැන ඔවුන්ට වැටහීමක් නැති බැවිනි.”
27එවිට අසිරියාවේ රජු, “සමාරියේ සිට පිටුවහල් කොට ගෙන ආ පූජකයින්ගෙන් කෙනකු ආපසු එහි වාසයට යවා, ඒ දේශයේ දෙවියන්ගේ නියමයන් ජනතාවට උගන්වන්ට සැලැස්විය යුතු යැ” යි නියෝග කළේ ය. 28එබැවින් සමාරියේ සිට පිටුවහල් කොට ගෙන ගොස් සිටි පූජකයින්ගෙන් කෙනෙක් ආපසු බෙතෙල්හි වාසයට අවුත්, ස්වාමින්වහන්සේට භය විය යුතු අන්දම ජනයාට උගැන්වී ය.
29එසේ වුවත් ඒ එක් එක් ජාතිය තමන් පදිංචි නගරවල තමන්ගේ දෙවිවරුන් සාදා ගෙන සමාරියේ ජනයා උස් තැන්වල සාදා තිබූ දේවාලවල ඒවා පිහිටුවා ගත්හ. 30බබිලෝනියෙන් පැමිණි මිනිස්සු සුක්කොත්-බෙනොත් ද කූතාවෙන් පැමිණි මිනිස්සු නේර්ගල් ද හමාත් වෙතින් පැමිණි මිනිස්සු අෂීමා ද සෑදූහ; 31අව්විවරු, නිබ්හස් හා තර්තාක් සෑදූ අතර සෙෆර්විවරු, අද්‍රම්මෙලෙක් හා අනම්මෙලෙක් යන සෙෆර්වයිම් දෙවිවරුන්ට යාග වශයෙන් තම දරුවන් ගින්නෙන් දැවූහ. 32ඔවුහු ස්වාමින්වහන්සේටත් භය ඇතුව සිටියහ. එසේ ම ඔවුහු උස් තැන් දේවාලවල තමන් උදෙසා තේවා කටයුතු කිරීමට තමන්ගේ මිනිසුන් පූජකයින් ලෙස පත් කර ගත්හ. 33ඔවුහු ස්වාමින්වහන්සේට භය ඇතුව සිටියහ. එහෙත් තමන් අයත් ව සිටි ජාතීන්ගේ වත් පිළිවෙත් අනුගමන කරමින්, තම තමන්ගේ ම දෙවිවරුන්ට ද පුද පූජා ඔප්පු කළහ.
34අද දවස දක්වා ම ඔවුහු තමන්ගේ වත් පිළිවෙත් දිගට ම කර ගෙන යති. ඔවුන් ස්වාමින්වහන්සේට භය ඇතුව සිටියේ නැත. උන්වහන්සේ ඉශ්‍රායෙල් යන නාමය තැබූ යාකොබ්ගෙන් පැවත එන්නන්ට ස්වාමින්වහන්සේ දී තිබූ නියෝග, නියමයන්, නීති හා ආඥා ඔවුන් රක්ෂා කළේ නැත. 35ස්වාමින්වහන්සේ ඉශ්‍රායෙල්වරුන් සමඟ ගිවිසුමක් කළ විට උන්වහන්සේ ඔවුන්ට ආඥා කරමින්, “අන් දෙවි කෙනකුට නමස්කාර නො කරනු. ඔවුන්ට වැඳුම් පිදුම් නො කරනු. ඔවුන්ට මෙහෙ නො කරනු. ඔවුන්ට යාග පූජා ඔප්පු නො කරනු. 36ඔබ භය විය යුත්තේ බලවත් හස්තයෙන් හා දිගු කළ බාහුවෙන් ඊජිප්තුවෙන් පිටතට ඔබ ගෙන ආ තැනැන්වහන්සේ වන ස්වාමින්වහන්සේට ය. උන්වහන්සේට ඔබ නමස්කාර කළ යුතු ය. උන්වහන්සේට යාග පූජා ඔප්පු කළ යුතු ය. 37ලිඛිත ව උන්වහන්සේ ඔබට දුන් නියෝග හා නියමයන් ද නීති හා ආඥා ද පිළිපදින්නට හැම විට ම වග බලා ගත යුතු ය. අන්‍ය දෙවිවරුන්ට වැඳුම් පිදුම් නො කරනු. 38ඔබ සමඟ මා කළ ගිවිසුම අමතක නො කරනු; අන්‍ය දෙවිවරුන්ට වැඳුම් පිදුම් නො කරනු. 39ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේට ම භය ඇතුව සිටිනු; මන්ද ඔබේ සියලු සතුරන් අතින් ඔබ නිදහස් කරන්නේ උන්වහන්සේ යැ” යි පැවසූ සේක.
40එහෙත් ඔවුන් සවන් දුන්නේ නැත. ඔවුහු තමන්ගේ පැරණි පිළිවෙත්වල ගැලුණහ. 41මේ ජනයා ස්වාමින්වහන්සේ කෙරෙහි භය ඇතුව සිටිමින්, තමන්ගේ පිළිම රූපවලට ද වැඳුම් පිදුම් කළහ. ඔවුන්ගේ දරුවන් ද දරුවන්ගේ දරුවන් ද තම පියවරුන් කළ පරිද්දෙන් ම අද දවස දක්වා ම කර ගෙන යති.

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in