2 රාජාවලිය 1:7-17
2 රාජාවලිය 1:7-17 SCV
රජු ඔවුන් අමතමින්, “ඔබ මුණ ගැසී, මේ දෑ පැවසූ මනුෂ්‍යයා කොහොම කෙනෙක් දැ?” යි ඇසී ය. ඔවුහු පිළිතුරු දෙමින්, “ඔහු ලෝම වස්ත්‍රයක් හැඳ, සම් පටියක් ඉඟ බැඳ සිටියේ යැ” යි කීහ. “ඒ තිෂ්බීය එලියා යැ” යි රජු පැවසී ය. එවිට ඔහු පනසකගේ සෙන්පතියකු ඔහුගේ පනසක සේනාංකය සමඟ එලියා වෙත යැවී ය. සෙන්පති කඳු මුඳුනේ හිඳ සිටි එලියා වෙත ගොස්, ඔහු අමතා, “දෙවියන්වහන්සේගේ මනුෂ්‍යය, ‘පහළට බැස එන්න’ කියා රජු කියන්නේ යැ” යි කීවේ ය. එලියා සෙන්පතිට පිළිතුරු දෙමින්, “මා දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයකු නම්, අහසින් ගිනි බැස ඔබත්, ඔබේ මිනිසුන් පනස්දෙනාත් දවා දමාවා” යි පැවසී ය. එවිට අහසින් ගිනි බැස, සෙන්පති හා ඔහුගේ මිනිසුන් දවාලී ය. එවිට රජු තවත් පනසකගේ සෙන්පතියකු ඔහුගේ පනසක සේනාංකය සමඟ එලියා වෙත යැවී ය. සෙන්පති ඔහු අමතා, “දෙවියන්වහන්සේගේ මනුෂ්‍යය, ‘වහා පහළට බැස එන්න’ කියා රජු කියන්නේ යැ” යි කීවේ ය. එලියා පිළිතුරු දෙමින්, “මා දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයකු නම්, අහසින් ගිනි බැස ඔබත්, ඔබේ මිනිසුන් පනස්දෙනාත් දවා දමාවා” යි පැවසී ය. එවිට දෙවියන්වහන්සේගේ ගින්න අහසින් වැටී ඔහුත්, ඔහුගේ පනස්දෙනාත් දවා දැමී ය. එබැවින් රජු තුන් වන පනසකගේ සෙන්පතියකු ඔහුගේ පනසක සේනාංකය සමඟ යැවී ය. මේ තුන්වැනි සෙන්පති ගොස්, එලියා ඉදිරියේ දණින් වැටී, යදිමින්, “දෙවියන්වහන්සේගේ මනුෂ්‍යය, අනේ මගේ ජීවිතයත්, ඔබගේ සේවකයින් වන මේ පනස්දෙනාගේ ජීවිතත් සැලකුව මැනව. බලන්න, අහසින් ගිනි වැටී, පළමු සෙන්පතීන් දෙදෙනා හා ඔවුන්ගේ මිනිසුන් සියලු දෙනාත් දවාලී ය. එහෙත් දැන් මගේ ජීවිතය ඔබට අනගි ව පෙනේවා!” යි ඉල්ලී ය. එවිට ස්වාමින්වහන්සේගේ දූතයා එලියාට කතා කොට, “ඔහු සමඟ යන්න; ඔහු ගැන භය නො වන්නැ” යි පැවසී ය. එබැවින් එලියා නැගිට, ඔහු සමඟ රජු වෙත ගියේ ය. ඔහු රජු අමතා, “ස්වාමින්වහන්සේ මෙසේ පවසන සේක: ඔබ එක්‍රෝන්හි දෙවියා වූ බාල්-සෙබූබ්ගෙන් විචාරන්නට සේවකයින් යැව්වේ, ඉශ්‍රායෙල්හි උන්වහන්සේගේ වචනයෙන් විචාරන්නට දෙවියන්වහන්සේ කෙනකු නැති නිසා ද? ඔබ මේ දේ කළ බැවින් වැතිරී සිටින යහනෙන් ඔබ බසින්නේ නැත. සැබවින් ම ඔබ මියෙනු ඇතැ” යි පැවසී ය. එලියා පැවසූ ස්වාමින්වහන්සේගේ වචනයට අනුව ඔහු මිය ගියේ ය. අහසියාට පුතකු නො සිටි බැවින් යෙහෝරාම් ඔහුට පසුව රජකමට පත් වූයේ යූදාහි රජු වූ යෙහෝෂාෆාට්ගේ පුත් යෙහෝරාම්ගේ රජකම් කිරීමේ දෙවන වසරේදී ය.





