YouVersion Logo
Search Icon

2 කොරින්ති 7

7
1ප්‍රේමණීයයනි, අපට මේ පොරොන්දු තියෙන බැවින්, දෙවියන්වහන්සේට භය පක්ෂපාතීත්වයෙන් ශුද්ධකම සම්පූර්ණ කර ගැනීමට, අපගේ ශරීරය හා ආත්මය හැම දූෂ්‍යතාවකින් ම පවිත්‍ර කර ගනිමු.
සභාවේ පසුතැවිල්ල ගැන පාවුල්ගේ ප්‍රීතිය
2ඔබ හදවත්හි අපට ඉඩ සලසා දෙන්න. කිසිවකුටත් අප වරදක් කර නැත; කිසිවකුත් දූෂ්‍ය කර නැත; කිසිවකුගෙන් වාසි සලසා ගෙන නැත. 3ඔබට වරද පවරන පිණිස මා මෙසේ කියනවා නො වේ. කලින් මා ඔබට කියා ඇති පරිදි එකට මැරෙන්නටත්, එකට ජීවත් වන්නටත් අප හදවත් තුළ ඔබ සිටී. 4ඔබ ගැන බලවත් විශ්වාසයක් මට තිබේ. ඔබ ගැන මහත් ආඩම්බරයක් මට තිබේ. මා සිටින්නේ සැනසිල්ලෙන් පිරිලා ය. අපගේ සියලු පීඩාවලදීත්, මම උතුරා යන ප්‍රීතියෙන් යුක්ත ව සිටිමි.
5අප මකිදෝනිය වෙත පැමිණි විට පවා අප ශරීරයට කිසි විවේකයක් නො විණි. එසේ වුව ද, පිටතින් වූ ගැටුම් ද ඇතුළතින් වූ බිය ද නිසා හැම පැත්තෙන් ම අප පීඩා කරනු ලැබිණ. 6එහෙත් පසුබටවූවන් සනසවන දෙවියන්වහන්සේ, අප සැනසුවේ තීතස්ගේ පැමිණීමෙනි. 7ඔහුගේ පැමිණීම පමණකින් නො වේ; ඔබ විසින් ඔහු සනසවන ලද සැනසිල්ල ද ඔබගේ ආශාවත්, ඔබගේ ශෝකයත්, මා වෙත ඇති ඔබගේ උද්යෝගයත් ගැන ඔහු පැවසීමෙන්, මගේ ප්‍රීතිය වඩාත් අධික විය.
8මගේ ලිපියෙන් මා ඔබ ශෝකයට පත් කළ නමුදු, ඒ ගැන කණගාටු නො වෙමි. මා කණගාටු වුවත්, මගේ ලිපියෙන් ඔබ ශෝක වුවත්, ඒ මද වෙලාවකට පමණක් වග මට පෙනේ. 9එහෙත් දැන්, මා ඒ ගැන ප්‍රීති වන්නේ ඔබ ශෝකයට පත් වූ නිසා නො ව, ඒ ශෝකය ඔබට පසුතැවිල්ලට මං සැලසූ නිසා ය. මන්ද අපෙන් ඔබට කිසිදු හානියක් සිදු නො වන පිණිස, ඔබ දේව කැමැත්තට අනුකූල වූ ශෝකයක් දැරූ නිසා ය. 10මන්ද දේව කැමැත්තට අනුකූල වූ ශෝකය, කණගාටුවට හේතුවක් නො වන්නා වූ ගැලවීමට මං සලසන පසුතැවිල්ල උපදවයි. එහෙත්, ලෞකික ශෝකය මරණය උපදවයි. 11මෙම දේව කැමැත්තට අනුකූල වූ ශෝකය ඔබ තුළ කෙතරම් උනන්දුවක් උපදවා ඇත්දැයි බලන්න. ඔබ නිදොස් කර ගැනීමේ කෙතරම් උනන්දුවක්, කෙතරම් හෙළා දැකීමක්, කෙතරම් බයක්, කෙතරම් දැඩි ආශාවක්, කෙතරම් උද්යෝගයක් හට ගැනුනා ද? කවර නම් දඬුවම් දීමක් ද! මේ කාරණයේදී හැම අංශයකින් ම ඔබේ නිදොස් වග ඔබ ම ඔප්පු කර තිබේ. 12මා ඔබට ලියූ නමුදු, එසේ කළේ වරද කළ තැනැත්තා උදෙසා නො වේ; වරද විඳි තැනැත්තා උදෙසා ද නො වේ. දෙවියන්වහන්සේ හමුවේ අප කෙරේ ඇති ඔබගේ උනන්දුව ඔබට ම එළිදරවු වීම සඳහා ය. 13එබැවින් අපි සැනසිල්ල ලැබීමු.
අපගේ ම සැනසීමට අමතරව, ඔබ හැම තීතස්ගේ ආත්මය නව පණ ගන්වා තිබූ බැවින් වූ ඔහුගේ ප්‍රීතිය නිසා අප වඩාත් ප්‍රීති වන්නෙමු. 14ඔබ ගැන මා ඔහුට කර තිබූ පාරට්ටුව මා ලජ්ජාවට පත් කොට නැත. තවද අප ඔබට කී ලෙස සියල්ල සැබෑ වී, තීතස් ඉදිරියේ අප කළ පාරට්ටුව ද සත්‍යය වග ඔප්පු වී ඇත. 15ඔබ හැමගේ අවනත භාවයත්, ඔබ ඔහු පිළිගත් බය හා වෙවුලුමත් සිහි කරද්දී, ඔබ වෙත ඇති ඔහුගේ ලැදියාව බෙහෙවින් අධික ය. 16ඔබ තුළ මට සම්පූර්ණ විශ්වාසය තැබිය හැකි බැවින් මම ප්‍රීති වෙමි.

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in