YouVersion Logo
Search Icon

2 ලේකම් 33

33
මනස්සේගේ රාජ්‍ය පාලනය
1මනස්සේ රජකමට පත් වන කල, ඔහුගේ වයස අවුරුදු දොළහක් විය. ඔහු අවුරුදු පනස්පහක් යෙරුසලමෙහි රජකම් කළේ ය. 2ස්වාමින්වහන්සේ ඉශ්‍රායෙල් ජනයා ඉදිරිපිටින් පන්නා දමා තිබූ ජාතීන්ගේ පිළිකුල් ක්‍රියා පිළිවෙත් අනුගමනය කරමින්, ඔහු ස්වාමින්වහන්සේගේ ඇස් හමුවේ නපුරු දේ කළේ ය. 3මන්ද තම පියා වූ හෙසකියා කඩා දමන ලද උස් තැන් පුදසුන් යළි ඉදි කළ ඔහු, බාල් දෙවියාට පූජාසන තැනී ය; අෂේරා කණු සෑදී ය; මුළු අහස් සේනාවට නමස්කාර කරමින්, ඒවාට මෙහෙ කළේ ය. 4“මගේ නාමය සදහට ම යෙරුසලම තුළ වන්නේ යැ” යි ස්වාමින්වහන්සේ පවසා තිබූ ස්වාමින්වහන්සේගේ ගෘහය තුළ ඔහු වෙනත් පූජාසන ඉදි කළේ ය. 5ඔහු ස්වාමින්වහන්සේගේ ගෘහයේ දෙමළුවේ ම සියලු අහස් සේනාවනට පූජාසන ඉදි කළේ ය. 6ඔහු තමාගේ පුතුන් බෙන්-හින්නොම් මිටියාවතේ ගින්නෙන් යාග කළේ ය. ඔහු ශාස්ත්‍ර බැලීම්, නිමිති බැලීම් හා අනවින ගුරුකම් අභ්‍යාස කළේ ය. ආත්ම බන්ධනකරුවන් හා පේන කියන්නන් සමඟ ඇසුරු කළේ ය. ඔහු ස්වාමින්වහන්සේ කෝප කරවමින්, උන්වහන්සේගේ ඇස් හමුවෙහි බොහෝ නපුරු දේ කළේ ය.
7තමා සාදා තිබූ දේව රූප ඔහු දෙවියන්වහන්සේගේ ගෘහය තුළ පිහිටුවේ ය. දෙවියන්වහන්සේ එම ගෘහය ගැන දාවිත්ටත්, ඔහුගේ පුත් සාලමොන්ටත් මෙසේ කියා තිබිණ: “මේ ගෘහයෙහි ද ඉශ්‍රායෙල් ගෝත්‍ර වංශ සියල්ලෙන් මා තෝරාගත් යෙරුසලමෙහි ද මගේ නාමය සදහට ම තබන්නෙමි; 8මෝසෙස් මගින් මා ඔබට අණ කළ මුළු නීති පද්ධතිය ද නියෝග හා නියමයන් ද ඔවුන් ඕනෑකමින් පිළිපදින්නේ නම්, ඔවුන්ගේ පියවරුන්ට මා නියම කළ දේශයෙන් ඉශ්‍රායෙල්වරුන්ගේ පා යළි ඉවත් නො කරමි.” 9එහෙත් මනස්සේ විසින් යූදා සහ යෙරුසලම් වාසීන් මුළා කරනු ලැබූ හේතුවෙන් ස්වාමින්වහන්සේ ඉශ්‍රායෙල්වරුන් ඉදිරිපිටින් විනාශ කර දමා තිබූ ජාතීන්ට වඩා ඔවුහු නපුරු දේ කළෝ ය.
10 ස්වාමින්වහන්සේ මනස්සේට හා ඔහුගේ ජනයාට කතා කළ නමුදු ඔවුන් කන් දුන්නේ නැත. 11එබැවින් ස්වාමින්වහන්සේ ඔවුනට එරෙහිව අසිරියාවේ රජුගේ හමුදා සෙන්පතීන් ගෙන ආ සේක. ඔවුහු මනස්සේ කොකුවලින් අල්ලා, ලෝකඩ දම්වැලෙන් ඔහු බැඳ, බබිලෝනියට ගෙන ආහ. 12මෙසේ ඔහු පීඩාවට පත් ව සිටියදී ඔහු තමාගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේගේ පිහිට පතා ආයාචනා කරමින්, තම පියවරුන්ගේ දෙවියන්වහන්සේ ඉදිරියේ අතිශයෙන් ම යටත් වූයේ ය. 13ඔහු උන්වහන්සේට යාච්ඤා කළේ ය. උන්වහන්සේ ඔහුගේ ආයාචනය පිළිගත් සේක්, ඔහුගේ කන්නලව්ව අසා, යෙරුසලමටත්, ඔහුගේ රාජ්‍යටත් යළි ඔහු ගෙනා සේක. ස්වාමින්වහන්සේ, සැබවින් ම දෙවියන්වහන්සේ වග එවිට මනස්සේ දැනගත්තේ ය.
14දාවිත් පුරය සඳහා මිටියාවතේ ගීහොන් උල්පතට බස්නාහිරින් මත්ස්‍ය දොරටු පිවිසුම තෙක් දිවෙන පිටත තාප්පයක් ගොඩ නැංවී ය. ඔහු එය ඔෆෙල් වටා යන පරිදි ඉතා උසට නැංවී ය. ඔහු යූදාහි සියලු බළකොටු පුරවර තුළ හමුදා සෙන්පතීන් ද සිටුවී ය.
15විදේශීය දෙවිවරුන් සහ දේව රූප ස්වාමින්වහන්සේගේ ගෘහයෙන් ඉවත් කළ ඔහු, ස්වාමින්වහන්සේගේ ගෘහයේ කන්ද මත හා යෙරුසලමේ ඔහු ගොඩ නගා තිබූ සියලු පුදසුන් ද ඉවත් කර, ඒවා පුරවරයෙන් පිටත හෙළා දැමී ය. 16ඔහු ස්වාමින්වහන්සේගේ පූජාසනය යළි පිහිටුවා, ශාන්ති පූජා හා ස්තුති දීමේ පූජා ඔප්පු කළේ ය. ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්සේ වූ ස්වාමින්වහන්සේට මෙහෙ කරන ලෙස ඔහු යූදා ජනයාට නියෝග කළේ ය. 17කෙසේ වුව ද ජනයා තවමත් උස් තැන් පුදසුන්හි යාග ඔප්පු කළහ. එහෙත් ඒ ඔවුන්ගේ දෙවියන්වහන්සේ වූ ස්වාමින්වහන්සේට පමණි.
18මනස්සේ සම්බන්ධ සෙසු කාරණා ද ඔහුගේ දෙවියන්වහන්සේ වෙත ඔහුගේ යාච්ඤාව ද ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්සේ වූ ස්වාමින්වහන්සේගේ නාමයෙන් අනාගතවක්තෘවරුන් ඔහුට පැවසූ වචන ද ඉශ්‍රායෙල් රජවරුන්ගේ ඉතිහාස පොතේ ලියැවී තිබේ. 19ඔහුගේ යාච්ඤාව හා ඔහුගේ ආයාචනය දෙවියන්වහන්සේ පිළිගත් අයුරු ද ඔහු තමා ම යටත්වීමට කලින් ඔහුගේ පාප සියල්ල ද නො ඇදහිලිවන්තකම ද ඔහු ඉදිකරන ලද අෂේරා කණු හා රූපස්ථම්භ පිහිටි භූමි ද පිළිබඳව, අනාවැකි පවසන්නන්ගේ#33:19 අනාවැකි පවසන්නන්ගේ බොහෝ හෙබ්‍රෙව් පිටපත්වල හෝසයිගේ වාර්තාවල සඳහන් ය. 20මනස්සේ තම පියවරුන් සමඟ සැතපුණේ ය. ඔහුගේ ගෘහයෙහි ඔවුහු ඔහු භූමදාන කළහ. ඔහුගේ පුත්‍ර ආමොන් රජකමට පත් විය.
යූදාහි ආමොන් රජු
21ආමොන් රජකමට පත් වන කල, ඔහුගේ වයස අවුරුදු විසිදෙකක් විය. ඔහු යෙරුසලමෙහි අවුරුදු දෙකක් රජකම් කළේ ය. 22ඔහු, තම පියා වූ මනස්සේ කළ පරිද්දෙන් ස්වාමින්වහන්සේගේ ඇස් හමුවෙහි කළේ දුෂ්ටකම් ය. ආමොන්, තම පියා වූ මනස්සේ සාදා තිබූ සියලු පිළිමවලට යාග කළේ ය; ඒවාට මෙහෙ කළේ ය. 23ඔහු, තමාගේ පියා වූ මනස්සේ තමා ම යටහත් වූ පරිද්දෙන් ස්වාමින්වහන්සේ ඉදිරියේ යටත් වූයේ නැත. එහෙත් මෙම ආමොන් වඩ වඩාත් වරදකාරිත්වයට නැඹුරු විය.
24ඔහුගේ නිලධාරීහු ඔහුට එරෙහිව කුමන්ත්‍රණ කර, නිවස තුළදී ඔහු මරා දැමූහ. 25එහෙත් දේශයේ ජනයා ආමොන් රජුට එරෙහිව කුමන්ත්‍රණ කළ සියල්ලන් මරා දැමූහ. දේශයේ ජනයා ඔහු වෙනුවට ඔහුගේ පුත් යොෂීයා රජකමට පත් කළහ.

Currently Selected:

2 ලේකම් 33: SCV

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in