YouVersion Logo
Search Icon

2 ලේකම් 25

25
අමසියා රජු
1අමසියා රජකමට පත් වන කල, ඔහුගේ වයස අවුරුදු විසිපහක් විය. ඔහු අවුරුදු විසිනවයක් යෙරුසලමෙහි රජකම් කළේ ය. යෙරුසලම් කාන්තාවක් වූ ඔහුගේ මවගේ නම යෙහෝවද්දාන් ය. 2ඔහු ස්වාමින්වහන්සේගේ ඇස් හමුවෙහි හරි ව තිබූ දෑ කළේ ය. එහෙත් මුළු හදින් නො වේ. 3ඔහු යටතේ රාජ්‍යය ස්ථාවර වූ කල ඔහු තම පිය රජු මරා දැමූ නිලධාරීන් මරා දැමී ය. 4එහෙත් ඔහු ඔවුන්ගේ පුතුන් මරා දැමුවේ නැත. මන්ද ඔහු ක්‍රියා කළේ, “තම දරුවන් නිසා පියවරුවත්, තම පියවරුන් නිසා දරුවෝවත් මරණයට පත් කරනු නො ලබත්වා. එක් එක්කෙනා මරණයට පත් විය යුත්තේ තමාගේ ම පාපය උදෙසා යැ” යි ස්වාමින්වහන්සේ ආඥා කර තිබූ ප්‍රකාරයට මෝසෙස්ගේ පොතේ, ව්‍යවස්ථාවේ ලියැවී තිබූ ලෙස ය.
5අමසියා, යූදා ජනයා එක් රැස් කර, මුළු යූදා හා බෙන්යමින් උදෙසා ඔවුන්ගේ පියවංශවලට අනුව දහසකගේ සෙන්පතීන් ද සියයකගේ සෙන්පතීන් ද යටතට ඔවුන් පත් කළේ ය. ඉන්පසු ඔහු විසි අවුරුදු හා ඊට වැඩි වූවන් රැස් කරවී ය. යුද සේවයට සූදානම්, හෙල්ලය හා පලිහ හැසිරවීමට දක්ෂ මිනිසුන් තුන් ලක්ෂයක් එහි සිටින වග එවිට දැනගනු ලැබිණ. 6ඔහු රිදී තලෙන්ත සියයකට#25:6 මෙට්‍රික් ටොන් 3.4ක් පමණ. 9 වන පදයේ ද එසේ ම ය. ඉශ්‍රායෙල් රණශූරී මිනිසුන් එක්ලක්ෂයක් ද කුලියට ගත්තේ ය.
7එහෙත් ඔහු වෙත ආ දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයෙක්, “එම්බා රජතුමෙනි, ඔබ මෙම ඉශ්‍රායෙල් භට පිරිස කැටුව නො යා යුතු ය. මන්ද ස්වාමින්වහන්සේ ඉශ්‍රායෙල් සමඟ, මේ මුළු එප්‍රායිම් ජනයා සමඟ නො වන සේක. 8එහෙත් යන්න, යුද්ධයට බලවත් වන්න. දෙවියන්වහන්සේ සතුරා ඉදිරියේදී ඔබ හෙළා දමනු ඇත. උපකාර කරන්නටත්, හෙළා දමන්නටත් බලය දෙවියන්වහන්සේට තියේ යැ” යි පැවසී ය.
9එවිට දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයා ඇමතූ අමසියා, “එහෙත් මේ ඉශ්‍රායෙල් හමුදාවට මා ගෙවූ තලෙන්ත සියයට අප කරන්නේ කුමක් දැ” යි ඇසී ය.
දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයා පිළිතුරු දෙමින්, “ඊට වඩා බොහෝ වැඩියෙන් ඔබට දෙන්නට ස්වාමින්වහන්සේට පුළුවනැ” යි පැවසී ය.
10එබැවින් අමසියා, එප්‍රායිම් සිට තමා වෙත පැමිණි හමුදාව ආපසු ගෙදර යැවීමට, ඔවුන් මුදා හැරියේ ය. එවිට යූදා සමඟ බලවත් සේ කෝප වූ ඔවුහු රුදුරු කෝපයෙන් ආපසු නිවෙස් කරා ගියහ.
11එහෙත් අමසියා ධෛර්යය ගෙන, තම ජනයා මෙහෙයවමින්, ලුණු මිටියාවතේදී සේයිර් මිනිසුන් දස දහසක් මරා දැමී ය. 12යූදා හමුදාව තවත් මිනිසුන් දස දහසක් පණ පිටින් අල්ලාගෙන, පර්වත කූටයකට ඔවුන් ගෙන ගොස්, එම පර්වත කූටය පහළට ඔවුන් තල්ලු කර දැමූහ. එසේ ඒ සියල්ලෝ කැබලි වී ගියහ.
13මේ අතරේ යුද්ධයට සහභාගි වන්නට ඉඩ නො දී අමසියා විසින් හරවා යවා තිබූ සෙබළු සමාරියේ සිට බෙත්-හෝරෝන් දක්වා වූ යූදා නගර ආක්‍රමණ කර, එහි වූ මිනිසුන් තුන්දහසක් මරා, මහත් කොල්ලයක් ගත්හ.
14අමසියා, ඒදොම්වරුන් ගසා හෙළා, ආපසු එන කල සේයිර් වැසියන්ගේ දේවතා රූප ගෙනැවිත්, ඒවා තමාගේ ම දෙවිවරුන් වශයෙන් පිහිටුවා, පූජා ඔප්පු කරමින් ඒවාට නමස්කාර කළේ ය. 15එබැවින් ස්වාමින්වහන්සේ අමසියා සමඟ කෝප වී, මෙලෙස පැවසූ දිවැසිවරයකු ඔහු වෙත යැවූ සේක. “ඔබේ අතින් තම ජනතාව ගලවා ගන්නට බැරි වූ ජනයාගේ දෙවිවරුන් ඔබ සෙවුවේ ඇයි දැ” යි ඇසී ය.
16ඔහු එසේ කියන අතරේ රජු ඔහු අමතමින්, “රාජකීය උපදේශකයකු කොට අප ඔබ පත් කළා ද? නවත්වාගනු! නුඹ මැරුම් කන්නේ කුමට දැ” යි කීවේ ය.
එබැවින් එම දිවැසිවරයා නිහඬ වී, එහෙත් යළි කතා කරමින්, “ඔබ මගේ දැනමුතුකමට කන් නො දී මේ දේ කළ නිසා ඔබ විනාශ කරන්නට දෙවියන්වහන්සේ තීරණය කර ඇති වග මම දනිමි” යි පැවසී ය.
17ඉන්පසු යූදාහි රජු වූ අමසියා සාකච්ඡා කොට, ඉශ්‍රායෙල්හි රජු වූ යේහූගේ පුත් යෙහෝවාහාස්ගේ පුත් යෝවාෂ්ට#25:17 යෝවාෂ්ට හෙවත් යෙහෝවාෂ් 18, 21, 23 සහ 25 ද එසේ ම ය. දැනුම් දෙමින්, “එන්න, මුහුණට මුහුණ මුණගැසෙමු” යි කියා යැවී ය.
18එහෙත් ඉශ්‍රායෙල්හි රජු වූ යෝවාෂ්, යූදාහි රජු වූ අමසියාට පිළිතුරු දෙමින්, “ලෙබනොන්හි කටු ගසක්, ලෙබනොන්හි දේවදාර ගසකට පණිවුඩයක් යවමින්, ‘ඔබගේ දියණිය මගේ පුතුට බිරිඳ කර දෙන්නැ’ යි කියා යැවී ය. එවිට එතැන පසු කර යන ලෙබනොන්හි වන මෘගයෙක් කටු ගස පාගා දැමී ය. 19‘මම ඒදොම් පැරදුවෙමි’ යි ඔබ ඔබට ම කියා ගනී. දැන් ඔබේ සිත අහංකාරයෙන් උඩඟු වී තිබේ. එහෙත් දැන් ගෙදරට වී ඉන්න. ඔබත්, යූදාත් වැටෙන පිණිස කරදර ඇතිකර ගන්නේ මොකට දැ” යි කියා යැවී ය.
20එහෙත් අමසියා ඇහුම්කන් දුන්නේ නැත. මන්ද ඔවුන් අසුකර දීමට එය දෙවියන්වහන්සේගෙන් වූවකි. ඊට හේතුව ඔවුන් ඒදොම් දෙවිවරුන් සොයා යෑමයි. 21එබැවින් ඉශ්‍රායෙල්හි රජු වූ යෝවාෂ් ගියේ ය. ඔහු හා යූදාහි රජු වූ අමසියා යූදාට අයත් බෙත්-ෂෙමෙෂ්හි දී එකිනෙකා මුහුණට මුහුණ හමුවූහ. 22යූදා, ඉශ්‍රායෙල් අතින් පරාජයට පත් විය. හැම මිනිසෙක් ම තම නිවසට පලා ගියේ ය. 23එකල ඉශ්‍රායෙල්හි රජු වූ යෝවාෂ්, බෙත්-ෂෙමෙෂ්හි දී යෙහෝවාහාස්ගේ#25:23 යෙහෝවාහාස්ගේ හෙවත් අහසියාගේ පුත්‍ර, යෝවාෂ්ගේ පුත්‍ර, යූදාහි රජු වූ අමසියා අල්ලාගෙන, යෙරුසලම වෙත ඔහු ගෙනවුත්, එප්‍රායිම් දොරටුවේ සිට කොනේ දොරටුව දක්වා රියන් හාරසියයක්#25:23 මීටර් 180ක් පමණ. යෙරුසලම් පවුර බිඳ දැමී ය. 24ඉන්පසු ඔහු ඔබේද්-ඒදොම් බාරයේ දෙවියන්වහන්සේගේ ගෘහයේ වූ සියලු රන් හා රිදී ද සියලු භාණ්ඩ ද අත්කර ගත්තේ ය. තවද ඔහු රජුගේ මාලිගයේ වස්තුව ද ප්‍රාණ ඇපකරුවන් ද අල්ලාගෙන, සමාරිය වෙත ආපසු ගියේ ය.
25ඉශ්‍රායෙල්හි රජ වූ යෙහෝවාහාස්ගේ පුත්‍ර යෝවාෂ්ගේ මරණින් පසු, යූදාහි රජු වූ යෝවාෂ්ගේ පුත්‍ර අමසියා පහළොස් වසරක් ජීවත් වූයේ ය. 26අමසියා සම්බන්ධ සෙසු කාරණා මුල සිට අග දක්වා යූදා හා ඉශ්‍රායෙල් රජවරුන්ගේ පොතේ ලියැවී තිබෙනවා නො වේ ද? 27අමසියා, ස්වාමින්වහන්සේ වෙතින් ඉවත හැරුණ කාලයේ පටන් යෙරුසලමේදී ඔවුහු ඔහුට එරෙහිව කුමන්ත්‍රණ කළහ. ඔහු ලාකීෂ් වෙත පලා ගියේ ය. එහෙත් ඔවුහු ලාකීෂ් වෙත ඔහු පස්සෙන් මිනිසුන් යවා, එහිදී ඔහු මරා දැමූහ. 28ඔවුහු ඔහු අශ්වයින් පිට රැගෙනවුත්, යූදා පුර ඔහුගේ පියවරුන් අතරේ භූමදාන කළහ.

Currently Selected:

2 ලේකම් 25: SCV

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in