YouVersion Logo
Search Icon

2 ලේකම් 23

23
යෝවාෂ් රජ වේ
1හත් වන වසරේ යෙහෝයාදා ධෛර්යය ගෙන, සියයේ සෙන්පතීන් සමඟ ගිවිසුමකට එළැඹුණේ ය. ඔවුහු නම් යෙරොහාම්ගේ පුත් අසරියා, යෙහෝහානාන්ගේ පුත් ඉෂ්මායෙල්, ඕබේද්ගේ පුත් අසරියා, අදායාගේ පුත් මාසේයා හා සික්රීගේ පුත් එලීෂාෆාට් ය. 2ඔවුහු මුළු යූදා පෙදෙස් ඔස්සේ ගොස්, යූදාහී සියලු පුරවරවලින් ලෙවීවරුන් ද ඉශ්‍රායෙල් පියවංශ ප්‍රධානීන් ද එක්කාසු කර ගෙන, යෙරුසලමට පැමිණියහ. 3ඒ මුළු එකමුතුව දෙවියන්වහන්සේගේ ගෘහයේදී රජු සමඟ ගිවිසුමක් ඇතිකර ගත්හ.
යෙහෝයාදා ඔවුන් අමතමින්, “මෙන්න! රජුගේ පුත්‍රයා! ස්වාමින්වහන්සේ දාවිත්ගේ පුත්‍රයින් පිළිබඳ පැවසූ පරිදි ඔහු රජකම් කරනු ඇත. 4ඔබ කළ යුත්තේ මෙයයි: සබත් දවසේ සේවා කටයුතුවල නියැළෙන පූජකයින් හා ලෙවීවරුන්ගෙන් තුනෙන් කොටසක් දොරටු මුර කළ යුතුයි. 5තුනෙන් කොටසක් රජ මැදුරේ හා තුනෙන් කොටසක් අත්තිවාරම් දොරටුවේ සිටිය යුතුයි. සෙසු සියලු මිනිසුන් ස්වාමින්වහන්සේගේ ගෘහයේ මළුවල සිටිය යුතුයි. 6සේවා කටයුතුවල නියැළෙන පූජකයින් හා ලෙවීවරුන් හැර වෙන කිසිවකුට ස්වාමින්වහන්සේගේ ගෘහයට ඇතුල් වෙන්නට ඉඩ නො දිය යුතුයි. ඔවුන් විශුද්ධ ව සිටි නිසා ඔවුන්ට ඇතුළු විය හැකි ය. එහෙත් සෙසු සියලු මිනිසුන් ස්වාමින්වහන්සේගේ නියමය පිළිපැදිය යුතුයි. 7ලෙවීවරුන් තම ආයුධ අතැතිව රජු වටා සිටිය යුතු ය. ගෘහයට පිවිසෙන කවරකු වුව මරා දැමිය යුතු ය. රජු ඇතුළට එන විටත්, ඔහු පිටතට යන විටත් ඔබ රජු සමීපයේ රැඳී සිටිය යුතු යැ” යි පැවසී ය.
8ලෙවීවරු හා සියලු යූදාවරු පූජක යෙහෝයාදා නියෝග කළ සියල්ල පරිදි කළහ. ඒ හැම කෙනෙක් ම තමන්ගේ මිනිසුන් වන සබත් දවසේ සේවා මුරයට එන්නන් ද සබත් දවසේ සේවා මුරය නිම වී යන්නන් ද ගෙන ආහ. මන්ද පූජක යෙහෝයාදා සේවා පන්ති කිසිවක් යන්න හැරියේ නැත. 9ඉන්පසු පූජක යෙහෝයාදා, දෙවියන්වහන්සේගේ ගෘහයේ තිබූ දාවිත් රජුගේ හෙල්ල ද විශාල හා කුඩා පලිහ ද සෙන්පතීන්ට දුන්නේ ය. 10ඉන්පසු ඔහු, මිනිසුන් හැම දෙනා එකිනෙකා තම ආයුධ අතැතිව ගෘහයේ දකුණු පැත්තේ සිට ගෘහයේ උතුරු පැත්ත දක්වා පූජාසනය හා ගෘහය වටා රජුගේ ආරක්ෂාවට සිටෙවුවේ ය.
11ඉන්පසු ඔවුහු රජුගේ පුත්‍රයා පිටතට ගෙනවුත්, ඔටුන්න ඔහුගේ හිස මත තබා, ගිවිසුම ඔහු අතට දී, ඔහු රජු වශයෙන් ප්‍රකාශ කළෝ ය. යෙහෝයාදා හා ඔහුගේ පුත්‍රයෝ ඔහු ආලේප කර, “රජු දිගු කල් වැජඹේවා!” යි පැවසූහ.
12දුවමින්, රජුට ඔල්වරසන් නැගූ ජනයාගේ ඝෝෂාව අතලියාට ඇසුණු කල, ඈ ජනයා වෙත ස්වාමින්වහන්සේගේ ගෘහයට ගියා ය. 13ඈ බැලූ කල, රජු පිවිසුමෙහි තම කුලුන ළඟ සිටගෙන සිටින අයුරු ද නිලධාරීන් හා හොරණෑ හඬවන්නන් රජු දෙපස සිටින අයුරු හා රට වැසි ජනයා ප්‍රීති ප්‍රමෝදවෙමින් හොරණෑ හඬවමින් සිටින අයුරු ද ගායකයින් තම සංගීත භාණ්ඩ සහිත ව ප්‍රශංසාව මෙහෙය වන අයුරු ද දුටුවා ය. එවිට තම හැඳිවත් ඉරා ගත් අතලියා, “ද්‍රෝහිකම! ද්‍රෝහිකම!” යයි කෑ ගැසුවා ය.
14පූජක යෙහෝයාදා සේනාව බාර ව සිටි සියයේ සෙන්පතීන් පිටතට කැඳවමින්, “ආරක්ෂක පේළි අතරින් ඇය පිටතට ගෙනෙනු. ඇය පසු පස එන කවරකු වුවත් කඩුවෙන් මරා දමනු” යි පැවසී ය. මන්ද “ස්වාමින්වහන්සේගේ ගෘහය තුළදී ඇය මරා නො දැමිය යුතු යැ” යි පූජකයා කියා තිබුණේ ය. 15එබැවින් රජ මැදුරේ අශ්ව දොරටු පිවිසුමට ඇය පැමිණි කල, ඔවුහු ඇය අල්ලා, මරා දැමූහ.
16ඉන්පසු යෙහෝයාදා තමාත්, ජනතාවත්, රජුත් අතර ගිවිසුමක් කළේ ය. ඒ ඔවුන් ස්වාමින්වහන්සේගේ ජනයා හැටියට සිටින ලෙසට ය. 17තවද මුළු ජනයා බාල් දෙවියාගේ දෙවොලට ගොස්, එය බිමට සමතලා කර දැමූහ. ඔවුහු එහි පූජාසන හා පිළිම කැබලි කර, පූජාසන ඉදිරිපිටදී බාල් දෙවියාගේ පූජක මත්තාන් මරා දැමූහ.
18ඉන්පසු යෙහෝයාදා, දාවිත් විසින් දී තිබූ සියලු උපදෙස්වලට අනුව ලෙවීවරුන් වන පූජකයින් අතට ස්වාමින්වහන්සේගේ ගෘහයේ මුර මෙහෙයයන් භාර දුන්නේ ය. මෝසෙස්ගේ ව්‍යවස්ථාවෙහි ලියා ඇති පරිදි ස්වාමින්වහන්සේට දවන යාග පූජා ඔප්පු කිරීමත්, දාවිත් උපදෙස් දී තිබූ පරිදි ප්‍රීති ප්‍රමෝදයෙන් යුතු ව ගායනා කිරීමත්, ඔවුන්ගේ කාරිය විය. 19ඔහු ස්වාමින්වහන්සේගේ ගෘහයේ දොරටු සඳහා දොරටු-පාලකයින් පත් කළේ ය. එසේ කළේ කවර අපවිත්‍රවූවකුට වුව ඉන් ඇතුල් වීමට නො හැකි වන පිණිස ය.
20ඔහු සියයකගේ සෙන්පතීන් ද වංශාධිපතීන් ද ජනතා-පාලකයින් ද දේශයේ මුළු ජනයා ද කැටුව ස්වාමින්වහන්සේගේ ගෘහයේ සිට රජු ඉහළ දොරටුව මැදින් රජ මැදුර තුළට ගෙනාවේ ය. ඉන්පසු ඔවුහු රාජකීය සිංහාසනය පිට රජු හිඳ වූහ. 21දේශයේ මුළු ජනයා ප්‍රීති ප්‍රමෝද වූහ. අතලියා කඩුවෙන් මරා දැමූ බැවින්, පුරවරය සාමකාමී ව පැවතුණේ ය.

Currently Selected:

2 ලේකම් 23: SCV

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in