YouVersion Logo
Search Icon

2 ලේකම් 21

21
1යෙහෝෂාෆාට් තම පියවරුන් සමඟ සැතපුණේ ය. ඔහු තම පියවරුන් සමඟ දාවිත් පුරයේ භූමදාන කෙරිණ. ඔහුගෙන් පසු ඔහුගේ පුත් යෙහෝරාම් රජකමට පත් විය. 2ඔහුගේ සහෝදරයින් වූ යෙහෝෂාෆාට්ගේ පුත්‍රයින් නම් අසරියා, යෙහීයෙල්, සෙකරියා, අසරියා, මිකායෙල් හා ෂෙෆටියා ය. ඒ සැවොම ඉශ්‍රායෙල්#21:2 ඉශ්‍රායෙල් එනම් යූදා රජු වූ යෙහෝෂාෆාට්ගේ පුත්‍රයෝ ය. 3ඔවුන්ගේ පියා ත්‍යාග වශයෙන් රිදී හා රත්රන් ද අනර්ඝ භාණ්ඩ ද යූදා තුළ වූ බළකොටු පුරවර ද ඔවුන්ට දුන්නේ ය. එහෙත් යෙහෝරාම් කුලුඳුල් පුත්‍රයා බැවින් රජකම ඔහුට පවරා දුන්නේ ය.
යූදාහි යෙහෝරාම් රජු
4යෙහෝරාම් තම පියාගේ රාජ්‍යයෙහි ස්ථාවර වූ කල, තමන්ගේ සහෝදරයින් සියලු දෙනා හා ඉශ්‍රායෙල් අධිපතීන් කීප දෙනකු කඩුවෙන් මරා දැමී ය. 5යෙහෝරාම් රජකමට පත් වන කල, ඔහුගේ වයස අවුරුදු තිස්දෙකක් විය. ඔහු යෙරුසලමේ අවුරුදු අටක් රජකම් කළේ ය. 6ආහාබ්ගේ වංශය කර තිබූ පරිදි ඔහු ඉශ්‍රායෙල් රජවරුන්ගේ අඩිපාරේ ගියේ ය. මන්ද ඔහු ආහාබ්ගේ දියණියක ආවාහ කර ගෙන සිටියේ ය. ඔහු ස්වාමින්වහන්සේගේ ඇස් හමුවෙහි නපුරු දෑ කළේ ය. 7එහෙත් ස්වාමින්වහන්සේ දාවිත් සමඟ කළ ගිවිසුම නිසා දාවිත්ගේ වංශය විනාශ කරන්නට නො කැමති වූයේ උන්වහන්සේ ඔහුටත්, ඔහුගෙන් පැවත එන්නවුන්ටත් සදහට ම පහනක් දෙන්නට පොරොන්දු වී සිටි බැවිනි.
8ඔහුගේ කාලයේ ඒදොම්වරු යූදා රාජ්‍යයට එරෙහිව කැරලි ගසා, තමන්ට රජකු පත් කර ගත්හ. 9එබැවින් යෙහෝරාම් තම නිලධාරීන් ද තම යුද්ධ රථ සියල්ල ද කැටුව එහි ගියේ ය. ඒදොම්වරු ඔහු ද ඔහුගේ යුද්ධ රථ සෙන්පතීන් ද වට කළහ. එහෙත් ඔහු රාත්‍රියේ නැගිට ඔවුන්ට පහර දුන්නේ ය. 10අද දවස දක්වා ම ඒදොම්, යූදාට එරෙහිව කැරලි ගසයි.
ඒ කාලයේ ම ලිබ්නා ද ඔහුගේ පාලනය යටතින් ඉවත් විය. එසේ වූයේ යෙහෝරාම් තම පියවරුන්ගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ අත් හළ නිසා ය. 11එපමණක් නො ව ඔහු යූදා කඳු පිට උස් තැන් පුදසුන් තනා, යෙරුසලම් වාසීන්ට ද්‍රෝහි වන්නට සලස්වා, යූදාට මුළාව යන්නට සැලසී ය.
12දිවැසිවර එලියාගෙන් ඔහුට ලිපියක් ලැබිණ. එහි මෙසේ කියා තිබිණ:
“ඔබේ පියා වූ දාවිත්ගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ මෙසේ පවසන සේක: ‘ඔබ, ඔබේ පියා වූ යෙහෝෂාෆාට්ගේ හෝ යූදා රජ වූ ආසාගේ හෝ මාර්ගවල පැවතුණේ නැත. 13එහෙත් ඔබ ඉශ්‍රායෙල් රජවරුන්ගේ මාර්ගවල පැවතුණි. ආහාබ්ගේ වංශය කළ පරිදි ම ඔබ යූදා වාසීන් හා යෙරුසලම් වාසීන් වේශ්‍යාකම් කරන්නට#21:13 වේශ්‍යාකම් කරන්නට එනම් අන් දෙවිවරුන් ඇදහීමට සැලැස්වී ය. ඔබට වඩා යහපත් වූ, ඔබේ පියාගේ වංශයේ සාමාජිකයින් වූ ඔබේ ම සහෝදරයින් ඔබ මරා දැමී ය. 14එසේ හෙයින් මෙන්න, ස්වාමින්වහන්සේ ඔබේ ජනතාවට ද ඔබේ පුතුන්ට ද ඔබේ භාර්යාවන්ට ද ඔබ සන්තක සියල්ලට ද දරුණු වසංගතයකින් පහර දෙන සේක. 15දරුණු බඩවැල් රෝගයකින් ඔබ බොහෝ රෝගාතුර වනු ඇත. ඔබේ රෝගය නිසා දිනෙන් දින ඔබේ බඩවැල් වැටී යනු ඇත.’ ”
16 ස්වාමින්වහන්සේ පිලිස්තිවරුන්ගේ ද කූෂ්වරුන් අසල විසූ අරාබිවරුන්ගේ ද කෝපය යෙහෝරාම්ට එරෙහිව ඇවුළූ සේක. 17ඔවුහු යූදාට එරෙහිව අවුත්, එය ආක්‍රමණ කොට, රජ මැදුරට අයත් ව තිබූ සියලු භාණ්ඩ ඇතුළු ව ඔහුගේ පුතුන් ද භාර්යාවන් ද අල්ලාගෙන ගියහ. බාලයා වූ යෙහෝවාහාස්#21:17 යෙහෝවාහාස් එනම් අහසියා හැර වෙන කිසි පුතකු ඔහුට ඉතිරි නො වී ය.
18මේ සියල්ලට පසු සුව කළ නො හැකි බඩවැල් රෝගයකින් ස්වාමින්වහන්සේ ඔහුට පහර දුන් සේක. 19ටික කලකට පසු, දෙවන වසර අගදී එම රෝගය නිසා ඔහුගේ බඩවැල් වැටී ගියේ ය. ඔහු දරුණු වේදනාවෙන් යුතු ව මිය ගියේ ය. ඔහුගේ ජනතාව ඔහුගේ පියවරුන්ට කර තිබූ පරිදි ඔහුගේ ගෞරවය සඳහා ගිනි මැලයක් දැල්වූයේ නැත.
20යෙහෝරාම් රජකමට පත් වන කල, ඔහුගේ වයස අවුරුදු තිස්දෙකක් විය. ඔහු යෙරුසලමෙහි අ‍ට වසරක් රජකම් කළේ ය. ඔහු මිය ගිය කල කිසිවකු ශෝක වූයේ නැත. ඔහු දාවිත් පුරයේ භූමදාන කෙරිණි. එහෙත් රජුන්ගේ සොහොන්වල නො වේ.

Currently Selected:

2 ලේකම් 21: SCV

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in