YouVersion Logo
Search Icon

2 ලේකම් 16

16
ආසාගේ අවසන් කාලය
1ආසාගේ රාජ්‍ය පාලනයේ තිස්හය වන අවුරුද්දේ ඉශ්‍රායෙල්හි රජු වූ බාෂා, යූදාට එරෙහිව ගියේ ය. යූදාහි රජු වූ ආසාගේ පළාතට කිසිවකු ඇතුල්වීම හෝ කිසිවකු ඉන් පිටවීම හෝ වළකනු පිණිස ඔහු රාමා නගරය ඉදි කළේ ය.
2එවිට ආසා ස්වාමින්වහන්සේගේ ගෘහයේ සහ තමාගේ රජ මැදුරේ භාණ්ඩාගාරවල තිබූ රිදී හා රන් ගෙන, දමස්කයේ විසූ අරාම්හි රජු වූ බෙන්-හදද් වෙත ඒවා යැවුවේ, 3මෙසේ කියමිනි, “මගේ පියා හා ඔබේ පියා අතර තිබූ පරිද්දෙන්, ඔබ සහ මා අතර ගිවිසුමක් තිබේවා! මෙන්න මම ඔබට රිදී-රත්රන් එවන්නෙමි; දැන් ඉශ්‍රායෙල්හි රජු වූ බාෂා සමඟ ඇති ඔබේ ගිවිසුම කඩ කරන්න; එවිට ඔහු මා වෙතින් ඉවත් ව යනු ඇත.”
4බෙන්-හදද්, ආසා රජුට සවන් දී, තම හමුදා සෙන්පතීන් ඉශ්‍රායෙල් පුරවරවලට විරුද්ධ ව යැවී ය. ඔවුහු ඊයොන් ද දාන් ද ආබෙල්-මායිම් ද නෆ්තලීහි සියලු ගබඩා පුරවර ද යටත් කර ගත්හ. 5බාෂා ඒ ඇසූ කල, රාමා ඉදි කිරීම නවතා, එම කාර්යය නතර කළේ ය. 6ඉන්පසු ආසා රජු මුළු යූදා යොදා ගනිමින්, බාෂා විසින් රාමාහි භාවිත කළ ගල් සහ දැව ජනයා ලවා ඉන් බැහැර කර, ඒවායින් ගෙබා හා මිස්පා ගොඩ නැගී ය.
7එකල අනාගතවක්තෘ හනානී, යූදා රජු වූ ආසා වෙත අවුත්, ඔහුට කතා කොට, “ඔබ ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ ගැන නො ව, අරාම් රජ ගැන විශ්වාසය තැබූ බැවින් අරාම්හි රජුගේ හමුදාව ඔබ වෙතින් පලා යනු ඇත. 8කූෂ්වරුන් හා ලිබියානුවන් යුද්ධ රථ හා අසරුවන්#16:8 අසරුවන් හෙවත් රථාචාරීන් විශාල ගණනක් ඇති බලවත් හමුදාවක් නො වී ද? එහෙත් ඔබ ස්වාමින්වහන්සේ කෙරෙහි විශ්වාසය තැබූ විට උන්වහන්සේ ඔබ අතට ඔවුන් හසුකර දුන් සේක. 9මන්ද තමන්ගේ හදවත ස්වාමින්වහන්සේට මුළුමනින් කැප කර ඇති තැනැත්තේ සවිමත් කරන පිණිස උන්වහන්සේගේ ඇස් මිහි පිට මුළුල්ලේ ඔබ මොබ ගමන් කරයි. ඔබ අනුවණකමක් කර ඇත. මෙතැන් පටන් ඔබට යුද්ධ හට ගන්නේ යැ” යි පැවසී ය.
10ආසා, අනාගතවක්තෘවරයා සමඟ කෝප විය; ආසා කොපමණ කුපිත වූයේ ද යත් ඔහු සිරගෙට යැවී ය. එකල්හි දී ම ආසා ජනතාවගෙන් සමහර දෙනකුට ද කෲර අන්දමින් හිංසා කළේ ය.
11ආසා සම්බන්ධ සෙසු කාරණා මුල පටන් අවසානය දක්වා යූදා හා ඉශ්‍රායෙල් රජුන්ගේ පොතෙහි ලියා තිබේ. 12ආසාගේ රාජ්‍ය පාලනයේ තිස්නව වන වසරේ ඔහුගේ පාදවල රෝගයක් හට ගැණිනි. ඔහුට වැලඳුණු රෝගය බරපතළ විය. එසේ වුව ද තම රෝගයේදී ඔහු ස්වාමින්වහන්සේගෙන් උපකාරය සෙවුවේ නැත. සෙවුවේ වෙදුන්ගේ උපකාරය ය. 13ආසා තම රාජ්‍ය පාලනයේ හතළිස් එක් වන වසරේ මියැදී, තම පියවරුන් සමඟ සැතපුණේ ය. 14ඔවුහු දාවිත් පුරයේ ඔහු විසින් ම කප්පවාගෙන තිබූ සොහොන් ගෙයක ඔහු භූමදාන කළහ. ඔවුහු සුවඳ ද්‍රව්‍ය හා එකට මුසු කළ නා නා සුවඳ විලවුන් අතුළ මැස්සක් පිට ඔහු හොවා, ඔහුගේ ගෞරවය පිණිස අති මහත් ගිනි මැලයක් දැල්වූහ.

Currently Selected:

2 ලේකම් 16: SCV

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in