YouVersion Logo
Search Icon

2 ලේකම් 11

11
1යෙරුසලමට පැමිණි රෙහොබොවම්, ඉශ්‍රායෙල්ට එරෙහිව යුද්ධ කර, රෙහොබොවම්ට යළි රාජ්‍යය අත්කර ගන්නා පිණිස යූදා හා බෙන්යමින් වංශික, තෝරාගත් රණශූරයින් එක්ලක්ෂ අසූදහසක් එක් රැස් කළේ ය.
2එහෙත් ස්වාමින්වහන්සේගේ වචනය දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයා වූ ෂෙමායා වෙත පැමිණියේ ය: 3“සාලමොන්ගේ පුත්, යූදාහි රජු වූ රෙහොබොවම්ටත්, යූදාහි හා බෙන්යමින්හි සිටින සියලු ඉශ්‍රායෙල්වරුන්ටත් මෙසේ කියන්න; 4ස්වාමින්වහන්සේ මෙසේ පවසන සේක: ඔබගේ සහෝදරයන්ට එරෙහිව සටනට නො යන්න. ඔබ එකිනෙකා තම තමන්ගේ නිවසට ආපසු යන්න. මන්ද මේ දේ මගෙන් පැමිණියකි.’ ” එබැවින් ඔවුහු ස්වාමින්වහන්සේගේ වචනයට කීකරු වී යෙරොබොවම්ට එරෙහිව නො ගොස් ආපසු ගියහ.
රෙහොබොවම් යූදාහි ආරක්ෂාව තර කිරීම
5රෙහොබොවම්, යෙරුසලමේ වාසය කරමින්, ආරක්ෂාව පිණිස යූදාහි පුරවර ඉදි කළේ ය. 6බෙත්ලෙහෙම්, ඒටාම්, තෙකෝවා, 7බෙත්-සූර්, සෝකෝ, අදුල්ලාම්, 8ගාත්, මාරේෂා, සීෆ්, 9අදෝරයිම්, ලාකීෂ්, අසේකා, 10සෝරා, අයියාලොන් හා හෙබ්‍රොන් ය. ඒවා යූදා හා බෙන්යමින් බළකොටු පුරවර වේ. 11ඔහු එහි බළකොටු තරකර, ඒ තුළ අණ දෙන්නන් සිටුවා, අවශ්‍ය ආහාර, තෙල් හා මිදි යුෂ ගබඩා කර තැබී ය. 12ඔහු ඒ සියලු පුරවරවලට පලිහ ද හෙල්ල ද සපයා, ඒවා බොහෝ ශක්තිමත් කළේ ය. එසේ යූදා හා බෙන්යමින් ඔහු යටතේ විය.
13ඉශ්‍රායෙල්හි සියලු පළාත්වල පූජකයෝ සහ ලෙවීවරු තමන් විසූ සියලු ස්ථාන වෙතින් ඔහු ළඟ පෙනී සිටියහ. 14ලෙවීවරු තම පොදු බිම් හා දේපළ අතහැර යූදා හා යෙරුසලමට පැමිණියහ. මන්ද යෙරොබොවම් සහ ඔහුගේ පුතුන් ස්වාමින්වහන්සේගේ පූජක මෙහෙයයෙන් ලෙවීවරුන් පලවා හළහ. 15ඔහු තමා විසින් සාදා තිබූ උස් තැන් පුදසුන් හා එළුවන්ගේ හා වස්සන්ගේ පිළිම සඳහා තමාගේ පූජකයින් පත් කළේ ය. 16ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ සොයා තම හදවත් යොමු කර ගත් ඉශ්‍රායෙල් ගෝත්‍ර වංශික සියල්ලෝ ලෙවීවරුන් අනුව යමින්, තම පියවරුන්ගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේට පූජා ඔප්පු කරන පිණිස යෙරුසලමට පැමිණියහ. 17ඔවුහු යූදා රාජ්‍යය සවිමත් කරමින්, සාලමොන්ගේ පුත් රෙහොබොවම්ට වසර තුනක් සහාය දුන්හ. මන්ද ඔවුහු ඒ කාලය තුළදී දාවිත්ගේ ද සාලමොන්ගේ ද මාර්ගවල පැවතුණහ.
රෙහොබොවම්ගේ පරම්පරාව
18රෙහොබොවම්, දාවිත්ගේ පුත් යෙරීමොත්ගේ ද යෙස්සේගේ පුත් එලියාබ්ගේ දියණිය වූ අබිහයිල්ගේ ද දියණිය වූ මාහලත් විවාහ කර ගත්තේ ය. 19ඈ ඔහුට පුතුන් බිහි කළා ය: ඔවුන් නම් යෙවූෂ්, ෂෙමරියා හා සහම් ය. 20ඇගෙන් පසු ඔහු අබ්සලොම්ගේ දියණිය වූ මයකා විවාහ කර ගත්තේ ය. ඈ ඔහුට අබියා, අත්තයි, සීසා හා ෂෙලොමිත් බිහි කළා ය. 21රෙහොබොවම් තම සෙසු භාර්යාවන්ට හා අතිරේක භාර්යාවන්ට වඩා අබ්සලොම්ගේ දියණිය වූ මයකාට ආදරේ විය. ඔහුට භාර්යාවන් දහඅට දෙනෙක් ද අතිරේක භාර්යාවන් හැට දෙනෙක් ද පුතුන් විසිඅට දෙනෙක් ද දූවරු හැට දෙනෙක් ද වූහ.
22රෙහොබොවම්, මයකාගේ පුත් අබියා රජකමට පත් කරන අටියෙන් ඔහුගේ සහෝදරයන් අතරේ ප්‍රධාන අධිපතියා හැටියට ඔහු පත් කළේ ය. 23ඔහු නැණවත් ව ක්‍රියා කරමින්, තම පුතුන්ගෙන් කීප දෙනකු යූදා හා බෙන්යමින් පළාත්වලටත්, බළකොටු පුරවරවලටත් පිටත් කර යැවී ය. ඔහු ඔවුන්ට බොහෝ ආහාර පාන සපයා දී, බොහෝ භාර්යාවන් ද ඔවුන්ට ගෙන දුන්නේ ය.

Currently Selected:

2 ලේකම් 11: SCV

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in