1 තිමෝති 6:1-9
1 තිමෝති 6:1-9 SCV
දෙවියන්වහන්සේගේ නාමයට හා ඉගැන්වීමට අපවාද නො නැගෙන පිණිස, තම හාම්පුතුන් මුළුමනින් ගෞරවය ලැබීමට සුදුස්සන් යයි දාස භාවයේ වියගහ යටතේ සිටින්නවුන් සිතත්වා. ඇදහිලිවත් හාම්පුතුන් ඇති අය, ඔවුන් සහෝදරයින් නිසා ඔවුන්ට දක්වන ගරුත්වය අඩු නො කළ යුතු ය. කළ යුත්තේ, තම සේවයෙන් සෙත සැලසෙන්නේ තමන්ගේ ම සහෝදරයින්ට හා ප්‍රේමණීයයනට බැවින් වඩා හොඳින් සේවය කිරීමයි. ඔබ ඉගැන්විය යුත්තේත්, අවධාරණ කළ යුත්තේත් මේවා ය. යමෙක් වෙනස් ධර්ම උගන්වමින්, යේසුස් ක්‍රිස්තුස් අප ස්වාමින්වහන්සේගේ සාරවූ වචන හා දේව භක්තික ඉගැන්වීම්වලට එකඟ නො වේ නම්, ඔහු අහංකාරයෙන් පිම්ඹෙන්නකු නමුදු කිසිවක් නො වැටහෙන්නෙකි. ඔහු විවාදවලට හා වචන හරඹවලට කැමති ව උමතුවෙන් පෙළෙයි. මේවායින් ඊර්ෂ්‍යාව, කලහය, අපහාස කතා හා දුෂ්ට සැක කිරීම්වලට ද භක්තිවන්තකම ලාභ ඉපැයීමේ මාර්ගයකැයි සිතන, සත්‍යයෙන් ගිලිහී ගියාවූත්, මනස් දූෂිතවූත් මිනිසුන් අතර නිරන්තර අඩ දබරවලට ද මග පෑදෙයි. ලද දෙයින් සතුටු වීම සමඟ දේව භක්තිවන්තකම සැබවින් ම මහත් ලාභයකි. මන්ද මෙලොවට අප ගෙන ආ දෙයක් නැත. මෙලොවින් අපට ගෙන යා හැකි දෙයක් ද නැත. එහෙත් අපට කෑම, ඇඳීම ඇත්නම් ඒවායින් අප සෑහීමට පත් වනු ඇත. ධනවත් වීමේ තද උවමනාව ඇත්තෝ පරීක්ෂාවට වැටෙති; උගුලට හසු වෙති; මිනිසුන් විනාශයටත්, නාස්තියටත් කිඳා බස්වන අඥාන වූත්, හානිකර වූත් අනේක තෘෂ්ණාවනට ගොදුරු වෙති.





