1 තිමෝති 1:1-11
1 තිමෝති 1:1-11 SCV
අපගේ ගැලවුම්කරුවාණන් වන දෙවියන්වහන්සේගේ හා අපගේ බලාපොරොත්තුව වන ක්‍රිස්තුස් යේසුස්වහන්සේගේ නියෝගයෙන්, ක්‍රිස්තුස් යේසුස්වහන්සේගේ අපෝස්තුලුවරයකු වූ පාවුල් වෙතින්, ඇදහිල්ලේ මගේ සැබෑ දරුවා වන තිමෝති වෙතයි: පියාණන්වහන්සේ වූ දෙවියන්වහන්සේගෙන් හා අප ස්වාමින්වහන්සේ වන ක්‍රිස්තුස් යේසුස්වහන්සේගෙන් ඔබට අනුග්‍රහයත්, දයාවත්, සාමයත් වේවා! මකිදෝනියාව බලා මා පිටත් ව යන කල, මා උදක් ම ඔබෙන් ඉල්ලා සිටියේ, එපීසයේ නැවතී සිට, අමුතු මත වාද නූගන්වන ලෙස ඇතමුනට අණ කරන්නටත්, මිථ්‍යා හා කෙළවරක් නැති පරම්පරා කතාවල නො ගැලෙන ලෙස අණ කරන්නටත් ය. ඒවායින් වන්නේ ඇදහිල්ලෙන් එන දෙවියන්වහන්සේ වෙතින් වූ සැලැස්ම වෙනුවට මත භේදයට තුඩු දෙන අදහස් උස්සා තැබීම ය. ඒ ලෙස අණ කිරීමේ අරමුණ පිරිසිදු හදෙකින්, යහපත් හෘදය සාක්ෂියකින් හා අවංක ඇදහිල්ලෙන් පැන නගිනා ප්‍රේමයයි. ඇතමුන් මෙයින් පිට පැන නිෂ්ඵල කතාවට හැරී ගොස් ඇත්තේ, දහම් ගුරුන් වීමේ ආශාවෙනි; තමන් පවසන්නේ කුමක් ද, තමන් සහතිකයෙන් කියන්නේ කවරක් ද යන්න ගැන වැටහීමක් ඔවුන්ට නැත. කෙනකු නිත්‍යානුකූල ව භාවිතා කරන්නේ නම්, ව්‍යවස්ථාව හොඳ බැව් අපි දනිමු. අප දැනගත යුත්තේ, නීති පනවා ඇත්තේ ධර්මිෂ්ඨයින් සඳහා නො වන බව ය. ඒවා දාමරිකයින්, අකීකරු වන්නන්, අභක්තිකයින් හා පව්කරුවන් ද අශුද්ධයින් හා දුශ්ශීලයින්, පීතෘ හෝ මාතෘ ඝාතකයින් හා මිනී මරුවන් ද පරදාර සේවනයේ හා සමලිංගික සේවනයේ යෙදෙන්නන් ද වහල් වෙළඳාමට මිනිසුන් පැහැරගන්නන්, බොරුකාරයන්, බොරුවට දිවුරන්නන් හා සාර දහමට පටහැනි ව කවර දේ වුව කරන්නන් ද සඳහා ය. මෙම සාර දහම, භාග්‍යවත් දෙවියන්වහන්සේගේ තේජාන්විත ශුභාරංචියට අනුකූලව උන්වහන්සේ විසින් ම මට බාර දෙන ලද ඉගැන්වීම් ය.





