YouVersion Logo
Search Icon

1 තෙසලෝනික 4:1-8

1 තෙසලෝනික 4:1-8 SCV

අවසන් වශයෙන් සහෝදරයිනි, දෙවියන්වහන්සේට ප්‍රසන්න අයුරින් ජීවත් විය යුත්තේ කෙසේදැයි අපි ඔබට උපදෙස් දුනිමු; සැබවින් ම ඔබ ජීවත් වන්නේ එලෙස ය. යේසුස් ස්වාමින්වහන්සේ තුළ අප දැන් ඔබෙන් ඉල්ලා සිටින්නේ, උදක් ම කියා සිටින්නේ වඩ වඩාත් එසේ කරන ලෙසයි. යේසුස් ස්වාමින්වහන්සේගේ ආධිපත්‍යය යටතේ අප ඔබට දුන් ආඥා කවරේ ද කියා ඔබ දන්නහු ය. දෙවියන්වහන්සේගේ කැමැත්ත ඔබ ශුද්ධ ව සිටීමයි; ලිංගික දුරාචාරයෙන් වැළකී සිටීමයි. ඔබ හැම කෙනකු ම ශුද්ධ වූත්, ගෞරවණීය වූත් අයුරින් තමාගේ සිරුර පාලනය කර ගැන්මට උගත යුත්තේ, දෙවියන්වහන්සේ නො හඳුනන අන්‍ය-ජාතීන් මෙන් කාම තෘෂ්ණාවේ නො ගැලීමෙනි. මේ සම්බන්ධ ව කිසිවකු තම සහෝදරයා රවටා, වාසියක් ලබා නො ගත යුතු ය. අප ඔබට පවසා ඇති පරිදි, අප ඔබට අවවාද දී ඇති පරිදි ඒවාට ස්වාමින්වහන්සේ පළිය ගන්නා සේක. මන්ද දෙවියන්වහන්සේ අප කැඳවා ඇත්තේ අපවිත්‍රකමට නො ව ශුද්ධකමට ය. එබැවින් මේ උපදෙස් ප්‍රතික්ෂේප කරන කවරකු වුව ප්‍රතික්ෂේප කරන්නේ මිනිසකු නො ව, ඔබට ස්වකීය ශුද්ධාත්මයාණන් දෙන දෙවියන්වහන්සේ ය.