1 සාමුවෙල් 4:12-18
1 සාමුවෙල් 4:12-18 SCV
ඒ දවසේ ම බෙන්යමින් වංශිකයෙක් ඇඳුම් ඉරාගෙන, හිසෙහි දූලි දමාගෙන, සටන් බිමේ සිට ෂීලෝ වෙත දිව්වේ ය. ඔහු එහි ළඟා වන විට, ඒලී පාර අයිනට වී, තම පුටුවේ හිඳ, විමසිල්ලෙන් බලා සිටියේ ය. මන්ද දෙවියන්වහන්සේගේ කරඬුව ගැන ඔහුගේ හද තැති ගෙන තිබිණි. ඒ මිනිසා නගරයට පිවිස, සිදුව ඇති දෑ පැවසූ කල, මුළු නගරය ම හඬා වැටිණ. එම කෑ මොර දීම සවන් වැකුණු ඒලී, “මොකක් ද මේ ගාලගෝට්ටිය!” යි ඇසී ය. ඒ මිනිසා වහ වහා ඒලී වෙත ගොස්, පැවසී ය. අවුරුදු අනූ අටක් වයස් ව, දෑස් අන්ධ ව සිටි ඒලී දෑස් දල්වාගෙන සිටියේ ය. ඔහු ඒලී අමතමින්, “මේ දැන් මා ආවේ සටන් බිමේ සිටයි. මා එතැනින් පලා ආවේ අද දවසේ ම යැ” යි කීවේ ය. “මොනවද එහි සිදු වුණේ මා පුත?” යි ඒලී විමසී ය. ආරංචි ගෙනා මිනිසා පිළිතුරු දෙමින්, “ඉශ්‍රායෙල්වරු පිලිස්තීන් වෙතින් පලා ගියා. අපේ හමුදාවට බරපතළ අලාභ විඳින්නට සිදු වුණා. ඔබේ පුතුන් දෙදෙනා වන හොෆ්නී හා පීනෙහාස් මළා. දෙවියන්වහන්සේගේ කරඬුව ද අල්ලාගෙන ගියා” යි කීවේ ය. දෙවියන්වහන්සේගේ කරඬුව ගැන ඔහු සඳහන් කරත් ම, ඒලී, දොරටුව පසෙක හිඳ සිටි අසුනින් පිටුපස්සට ඇද වැටිණි. ඔහුගේ බෙල්ල කැඩිණි. ඔහු මළේ ය. මන්ද ඔහු මහලු, තරබාරු මිනිසකු ව සිටියේ ය. ඔහු හතළිස් වසරක් ඉශ්‍රායෙල් විනිශ්චය කොට තිබුණි.





