1 සාමුවෙල් 30:7-20
1 සාමුවෙල් 30:7-20 SCV
දාවිත් ඉන්පසු අහිමෙලෙක්ගේ පුත් අබියාතර් පූජකයාට කතා කර, “ඒපොද් සැට්ටය මා ළඟට ගෙනෙන්නැ” යි කීවේ ය. අබියාතර් ඒපොද් සැට්ටය දාවිත් වෙත ගෙනාවේ ය. එවිට දාවිත්, ස්වාමින්වහන්සේගෙන් විමසමින්, “මා මෙම ආක්‍රමණික කණ්ඩායම ලුහුබඳින්න ද? මට ඔවුන් අල්ලා ගන්නට හැකි වේ දැ?” යි ඇසී ය. උන්වහන්සේ පිළිතුරු දෙමින්, “ලුහුබැඳ යන්න. ඔවුන් අල්ලා ගන්නටත්, මුදා ගන්නටත් නියතයෙන් ම ඔබට හැකි වෙතැ” යි පැවසූ සේක. දාවිත් ද ඔහු සමඟ වූ මිනිසුන් හයසියදෙනා ද බෙසෝර් දොරුව දක්වා පැමිණියහ. ඇතැම් දෙනෙක් එතැනදී නතර වූහ. මන්ද මිනිසුන් දෙසිය දෙනෙක් දොරුව තරණය කරන්නට බැරි තරමට විඩාබර ව සිටියහ. එහෙත් දාවිත් සහ සෙසු හාරසිය දෙනා දිගට ම ලුහුබැඳ ගියහ. එළිමහන් බිමකදී ඔවුන්ට ඊජිප්තු ජාතිකයකු දක්නට ලැබිණි. ඔවුහු දාවිත් වෙත ඔහු ගෙනාහ. ඔවුහු ඔහුට රොටි දුන්හ. ඔවුහු ඔහුට බීමට වතුරත් දුන්හ. තවද අත්තික්කා කැටියකින් කොටසක් ද වියළි මිදි කැවිලි දෙකක් ද ඔවුහු ඔහුට දුන්හ. ඒවා අහරට ගත් පසු ඔහු ප්‍රකෘතිමත් විය. මන්ද ඔහු දවස් තුනක් හා රෑ තුනක් සිට ඇත්තේ කෑමට රොටිවත්, බීමට වතුරවත් නැතිව ය. දාවිත් ඔහුට කතා කොට, “නුඹ අයිති කවරකුට ද? නුඹ එන්නේ කොහි සිට දැ?” යි ඇසී ය. ඔහු පිළිතුරු දෙමින්, “මා ඊජිප්තු තරුණයෙක්. අමලෙක්වරයකුගේ වහලෙක්. තුන් දිනකට පළමු මා රෝගාතුර වූ කල, මගේ ස්වාමියා මා අත්හැර දමා ගියා. අපි කෙරේතිවරුන්ගේ නෙගෙබ් ද යූදාවරුන්ට අයත් පෙදෙස ද කාලෙබ්ගේ නෙගෙබ් ද ආක්‍රමණ කර, සික්ලග් ගිනි ලෑවා” යි කීවේ ය. එවිට දාවිත්, “මේ ආක්‍රමණ කණ්ඩායම වෙත මට මග පෙන්වන්නට නුඹට පුළුවන් දැ?” යි ඇසී ය. ඔහු පිළිතුරු දෙමින්, “ඔබ මා මරා දමන්නේ නැති වගටත්, මගේ ස්වාමියා අතට මා බාර දෙන්නේ නැති වගටත්, දෙවියන්වහන්සේ ඉදිරියෙහි මට දිවුරන්න. එවිට ඒ කණ්ඩායම ළඟට මා ඔබ ගෙන යන්නම්” යැයි කීවේ ය. ඔහු දාවිත්ට මග පෙන්වී ය. එවිට මෙන්න! පිලිස්ති දේශයෙන් හා යූදා දේශයෙන් පැහැර ගන්නා ලද මහත් කොල්ලය නිසා ඔවුහු මුළු බිම් පෙදෙස පුරා විසිරී, පැතිරී, කමින් ද බොමින් ද නටමින් ද සිටියහ. දාවිත් සවස ගොම්මනේ පටන් පසු දා සවස් වන තෙක්, ඔවුන්ට පහර දුන්නේ ය. ඔටුවන් පිට නැගී පලා ගිය තරුණයින් හාරසිය දෙනකු හැර සෙසු කිසිවකුත් ගැලවුණේ නැත. අමලෙක්වරුන් විසින් ගෙන යනු ලැබ තිබූ සියල්ල දාවිත් මුදා ගත්තේ ය. දාවිත් තම භාර්යාවරුන් දෙදෙනා ද මුදා ගත්තේ ය. කිසිවකුත් නැති නො විණ. බාලයින් හා වැඩිහිටියන් ද පුතුන් හා දූවරුන් ද කොල්ලකනු ලැබ හෝ ගෙන යනු ලැබ තිබූ සියල්ල ද දාවිත් ආපසු ගෙනාවේ ය. දාවිත් එළු බැටළු රංචු හා ගව රංචු සියල්ල ද අල්ලා ගත්තේ ය. ඔහුගේ මිනිස්සු, “දාවිත්ගේ කොල්ලය මේ යැ” යි කියමින්, සෙසු සත්ව සම්පතට පෙරටුවෙන් උන් දක්කාගෙන ගියහ.





