1 සාමුවෙල් 2:11-36
1 සාමුවෙල් 2:11-36 SCV
ඉන්පසු එල්කානා, රාමාහි ගෙදර ගියේ ය. එහෙත් ළමයා පූජක ඒලී ඉදිරියේ ස්වාමින්වහන්සේට මෙහෙවර කළේ ය. ඒලීගේ පුත්‍රයෝ කමකට නැතිවූවන් වූහ. ඔවුහු ස්වාමින්වහන්සේට සැලකිල්ලක් නො දැක්වූහ. ජනයා සමඟ ක්‍රියා කිරීමේදී මෙබඳු සිරිතක් පූජකයින් අතරේ විය. යමකු යාග පූජාවක් ඔප්පු කළ විටෙක පූජා මස තැම්බෙමින් තිබියදී, පූජකයින්ගේ මෙහෙකරුවා දැති තුනක් සහිත මස්-කොක්කක් අතින් ගෙන එයි. අවුත්, හට්ටියේ හෝ භාජනයේ හෝ කල්දේරමේ හෝ සැලියේ එය ඔබයි. මෙසේ කොක්කේ ඇමිනී එන සියල්ල පූජකයා තම ප්‍රයෝජනයට ගනියි. ෂීලෝ වෙත එන ඉශ්රායෙල්වරුන් සියල්ලනට ඔවුන් කළේ එයයි. එපමණක් ද නො වේ; යුතු පරිදි මේදය දවාලන්නටත් කලින් පැමිණෙන පූජකයාගේ මෙහෙකරු, යාග පූජාවෙහි නියැළී සිටින්නාට කතා කොට, “පූජකතුමාට බදින්නට මස් දෙන්න; අමු මස් පමණක් මිස, තැම්බූ මස් ඔහු ඔබගෙන් බාරගන්නේ නැතැ” යි කියයි. එවිට ඒ මිනිසා පිළිතුරු දෙමින්, “පළමු කොට මේදය දැවෙන්නට හරින්න; ඉන්පසු ඔබ කැමති තරමක් ගන්නැ” යි කීවොත්, මෙහෙකරුවා, “නැහැ! දැන් ම ඒවා දෙනු; නුදුන්නොත් බලහත්කාරයෙන් මා ගන්නවා” යි කියයි. මෙම තරුණයින්ගේ පාපය, ස්වාමින්වහන්සේ හමුවේ ඉතා බරපතළ විය. මන්ද ඔවුන් ස්වාමින්වහන්සේගේ පඬුරු පූජාව, නිග්‍රහ සහගත ව සැලකූ බැවිනි. එහෙත්, හණ ඒපොද් සැට්ටයක් හැඳ සිටි කොලුවකු වූ සාමුවෙල් ස්වාමින්වහන්සේ ඉදිරියේ මෙහෙ කළේ ය. ඔහුගේ මව, ඇගේ සැමියා සමඟ වාර්ෂික යාග පූජා ඔප්පු කිරීමට යන කල, වසරක් පාසා ඔහුට කුඩා කබායක් මසා, ගෙන ගොස් දුන්නා ය. එවිට එල්කානාට හා ඔහුගේ බිරිඳට ආශිර්වාද කරන ඒලී, “මැය යාච්ඤාවෙන් ඉල්ලා ස්වාමින්වහන්සේට දුන් තැනැත්තාගේ තැන ගන්නට මේ කාන්තාවගෙන් ස්වාමින්වහන්සේ ඔබට දරුවන් ලබා දෙන සේක්වා!” යි කියයි. ඉන්පසු ඔවුහු ගෙදර යති. හන්නාට එසේ ස්වාමින්වහන්සේ කරුණා පෑ සේක. ඈ ගැබ් දරා, පුතුන් තිදෙනකු ද දියණියන් දෙදෙනකු ද බිහි කළා ය. ළමා සාමුවෙල් මේ අතර ස්වාමින්වහන්සේ ඉදිරියෙහි වැඩුණේ ය. ඒලී මෙකල ඉතා මහලු ව සිටියේ ය. සියලු ඉශ්රායෙල් ජනයාට තම පුතුන් කරන සියලු දෑ ගැන ද හමුවීමේ කූඩාරම් පිවිසුමේ සේවය කරන ස්ත්‍රීන් සමඟ ඔවුන් සයනය කරන වග ද ඔහුට අසන්නට ලැබුණේ ය. එබැවින් ඔහු ඔවුන්ට කතා කර, “නුඹලා මෙවැනි දෑ කරන්නේ ඇයි? නුඹලාගේ දුෂ්ට ක්‍රියා ගැන මේ හැම දෙනාගෙන් ම මට අසන්නට ලැබෙනවා. නැහැ මගේ පුතුනි, ස්වාමින්වහන්සේගේ ජනයා අතරේ පැතිර යතැයි මට අසන්නට ලැබෙන්නේ හොඳ ආරංචි නො වේ. කෙනෙක් මිනිසකුට එරෙහිව පව් කළොත්, දෙවියන්වහන්සේ ඔහු උදෙසා මැදිහත් වනු ඇත. එහෙත් ස්වාමින්වහන්සේට එරෙහිව පව් කරන කෙනකු උදෙසා මැදිහත් වන්නේ කවුරුන් දැ?” යි කීවේ ය. එහෙත් ඔහුගේ පුතුන් තම පියාගේ කටහඬට සවන් දුන්නේ නැත. මන්ද ස්වාමින්වහන්සේගේ කැමැත්ත ව තිබුණේ ඔවුන් නසා දමන්නට ය. මේ අතර යොවුන් සාමුවෙල් උස මහතින් ද ස්වාමින්වහන්සේ සමඟ මෙන් ම මනුෂ්‍යයන් සමඟ ප්‍රසාදයෙහි ද වැඩුණේ ය. දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයෙක් ඒලී වෙත අවුත්, ඔහු අමතමින්, “ස්වාමින්වහන්සේ මෙසේ පවසා ඇත; නුඹේ පියාගේ වංශය, පාරාවෝ පරපුර යටතේ ඊජිප්තුවේ සිටියදී, මම පැහැදිලි ව ඔවුන්ට එළිදරවු නො වුණෙම් ද? මගේ පූජකයා වන පිණිස, මගේ පූජාසනය වෙත ළඟා වන පිණිස, සුවඳ ධූම ද්‍රව්‍ය දවන පිණිස, මා ඉදිරියේ ඒපොද් සැට්ටය ඇඳගන්නා පිණිස, සියලු ඉශ්රායෙල් ගෝත්‍ර වංශ අතරින් මම නුඹේ පියා තෝරා ගතිමි. ඉශ්රායෙල්වරුන් ගින්නේ දවා ඔප්පු කරන සියලු පූජා ද මම නුඹේ පියවංශයට දුන්නෙමි. මගේ වාසස්ථානය සඳහා මවිසින් නියම කරන ලද මගේ යාග පූජා හා මගේ පූජාවලට නුඹලා නිගා කරන්නේ ඇයි? මගේ ඉශ්රායෙල් ජනයා පූජා කරන හැම පූජාවක හොඳ ම කොටස්වලින් නුඹලා ම තරකර ගනිමින්, නුඹ මටත් වඩා වැඩියෙන් නුඹගේ පුත්‍රයින්ට ගෞරව කරන්නේ මන්ද? “එබැවින් ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ මෙසේ ප්‍රකාශ කරන සේක: ‘නුඹේ වංශයත්, නුඹේ පියාගේ වංශයත් මා ඉදිරියේ සදහට ම සේවය කරනු ඇතැ’ යි මම ඉහතදී පොරොන්දු වුණෙමි. එහෙත් දැන් ස්වාමින්වහන්සේ මෙසේ ප්‍රකාශ කරන සේක: තවදුරටත් එසේ නො වනු ඇත. මට ගෞරව කරන්නන්ට මම ගෞරව කරමි; මට ගර්හා කරන්නන් මම නීච කොට සලකමි. ඔන්න! නුඹේ ශක්තිය ද නුඹේ පියවංශයේ ශක්තිය ද මවිසින් සිඳ දමන දවස් පැමිණෙන්නේ ය. එසේ කරන්නේ නුඹේ පෙළපතේ මහලු මනුෂ්‍යයෙක් තවත් නො සිටින පිණිස ය. ඉශ්රායෙල්ට මා යහපත කරන අතරේ මගේ වාසස්ථානයේ විපත ඇති බව නුඹ දකිනු ඇත. නුඹේ පෙළපතෙහි මහලු මිනිසකු යළි කිසි දින නො සිටිනු ඇත. මගේ පූජාසනය වෙතින් මා විසින් සිඳ දමනු නො ලබන අය එසේ ඉතිරි වන්නේ නුඹේ ඇස් කඳුළින් අන්ධ කරන්නටත්, නුඹේ හදවත සෝ තැවුලින් පුර වන්නටත් පමණි. නුඹෙන් පැවත එන සැවොම මැදි වයසේදී කඩුවෙන් මැරී යනු ඇත. “ ‘නුඹේ පුතුන් දෙදෙනා වන හොෆ්නීට හා පීනෙහාස්ට සිදුවන දේ නුඹට ලකුණක් වෙයි. ඔවුන් දෙදෙන එක ම දවසක නැසෙනු ඇත. මගේ හදවතටත්, මගේ මනසටත් අනුකූලව ක්‍රියා කරන විශ්වාසවන්ත පූජකයකු මම නැගිටුවා ගන්නෙමි. මම ඔහුට නිසැක වංශයක් ගොඩ නගා දෙන්නෙමි. ඔහු මගේ ආලේප ලද්දාණන් ඉදිරියෙහි හැම විට සේවය කරනු ඇත. එවිට නුඹේ පවුලේ ඉතිරි ව සිටින හැම කෙනකු ම රිදී කාසියක් සඳහාත්, රොටි කැබැල්ලක් සඳහාත් ඔහු ඉදිරියේ වැඳ වැටී කන්නලව් කරමින්, “අනේ පූජක නිලයේ යම් කාරියකට මා පත් කර ගන්න. එවිට මටත් කෑමට රොටි කැබැල්ලක් ලැබෙනු ඇතැ” යි කියනු ඇතැ’ යි” පැවසී ය.





