YouVersion Logo
Search Icon

1 පේතෘස් 5:1-11

1 පේතෘස් 5:1-11 SCV

ක්‍රිස්තුස්වහන්සේගේ දුක් පීඩාවල සාක්ෂිකරුවකු හා මතු එළිදරවු වන තේජෝ මහිමයේ පංගුකරුවකු වන මම, ඔබ හා සමාන සභා-මූලිකයකු වශයෙන් ඔබ අතර සිටින සභා-මූලිකයන්ගෙන් මෙසේ අයදිමි. විශ්වාසී භාරකරුවන් සේ සේවය කරමින්, ඔබ භාරයේ වෙසෙන දෙවියන්වහන්සේගේ බැටළු රැළ රැක-බලාගන්න; එය කළ යුත්තේ බලකිරීමක් නිසා නො ව, දෙවියන්වහන්සේ ඔබෙන් බලාපොරොත්තු වන පරිදි ස්ව-කැමැත්තෙනි; ලජ්ජා සහගත වාසියකට නො ව, සේවයට ලැදියාවෙනි; ඔබට භාර දෙන ලද්දවුන් වෙත අධිපතිකමින් නො ව, රැළට ආදර්ශවත් වෙමිනි. එවිට ප්‍රධාන එඬේරාණන් ප්‍රකාශ වන කල නො මැලවෙන තේජසේ කිරුළ ඔබට ලැබෙනු ඇත. එසේ ම, තරුණ වූ ඔබ, වැඩිහිටියනට අවනත වන්න. ඔබ හැම කෙනෙක් ම එකිනෙකා වෙත යටහත්කමින් සැරසෙන්න. මන්ද, “දෙවියන්වහන්සේ උඩඟු වූවනට එරෙහි වන සේක්, යටහතුනට අනුග්‍රහය දෙන සේක.” එබැවින් නිසි කල්හි දෙවියන්වහන්සේ ඔබ උසස් කරන පිණිස, උන්වහන්සේගේ පරාක්‍රමවත් හස්තය යටතේ යටත් වන්න. උන්වහන්සේ ඔබ ගැන සැලකිලිමත් බැවින්, ඔබගේ හැම තැවුල් උන්වහන්සේ වෙත හෙළා ලන්න. සන්සුන් ව සිටින්න; විමසිල්ලෙන් සිටින්න. ඔබගේ සතුරා වූ යක්ෂයා කවරකු ගොදුරු කර ගනිම්දෝයි මාන බලමින්, ගොරවන සිංහයකු සේ ඔබ මොබ ගැවසෙයි. ලොව පුරා ඔබගේ සහෝදරයින් ද ඔබ මෙන් එක ම විදියේ දුක් පීඩා මැදින් ගමන් ගන්නා බව ඔබ දන්නා බැවින්, ඇදහිල්ලේ ස්ථාවර ව පිහිටා සිට, යක්ෂයාට එරෙහි වන්න. ස්වල්ප කලක් දුක් විඳි පසු, ක්‍රිස්තුස්වහන්සේ තුළ තමන්වහන්සේගේ සදාතනික තේජෝමහිමයට ඔබ කැඳවා ගත්, සකල අනුග්‍රහයේ දෙවියන්වහන්සේ, ඔබ ප්‍රකෘතිමත් කර, ශක්තිමත් කර, ස්ථාවර කර, ස්ථිර පදනමක ඔබ පිහිටු වන සේක. උන්වහන්සේට සදහට ම, සදාතනික ව බලපරාක්‍රමය වේවා! ආමෙන්.