YouVersion Logo
Search Icon

1 රාජාවලිය 22:17-28

1 රාජාවලිය 22:17-28 SCV

මීකායා පිළිතුරු දෙමින්, “මුළු ඉශ්‍රායෙල්, එඬේරකු නැති බැටළුවන් මෙන් කඳු පිට විසිරී සිටිනවා දැක්කෙමි; ස්වාමින්වහන්සේ පවසන්නේ, ‘මේ ජනයාට හාම්පුතෙක් නැත. එකිනෙකා තම තමාගේ ගෙදරට සාමයෙන් හැරී යේවා’ යි කියා යැ” යි කීවේ ය. ඉශ්‍රායෙල් රජු යෙහෝෂාෆාට් අමතා, “මා පිළිබඳව මොහු නපුරක් මිස හොඳක් දිවැස් වැකියෙන් පවසන්නේ නැති වග මා ඔබට කීවේ නැද්දැ?” යි කීවේ ය. මීකායා තවදුරටත් කියනුයේ, “එබැවින් ස්වාමින්වහන්සේගේ වචනයට සවන් දෙන්න: ස්වාමින්වහන්සේ ස්වකීය සිංහාසනයේ හිඳ සිටිනු ද ස්වර්ගීය සියලු සේනා උන්වහන්සේ වටා උන්වහන්සේගේ දකුණු පස හා වම් පස සිටගෙන සිටිනු ද දුටුවෙමි. ස්වාමින්වහන්සේ කතා කොට, ‘රාමොත්-ගිලියාද්ට ගොසින්, වැටී යන පිණිස ආහාබ් රජු පොලඹවන්නේ කවුරු දැ’ යි ඇසූ සේක. “එවිට කෙනෙක් එකක් ද අන් කෙනෙක් තවෙකක් ද යෝජනා කළහ. අන්තිමේදී ආත්මයක් ඉදිරියට අවුත්, ස්වාමින්වහන්සේ අබියස සිටගෙන, ‘මම ඔහු පොලඹවන්නෙමි’ යි පැවසී ය. “ඒ කොහොම දැ?” යි ස්වාමින්වහන්සේ ඔහුගෙන් විමසූ කල, “ඔහු කතා කොට, ‘මම ගොස්, ඔහුගේ සියලු දිවැසිවරුන්ගේ මුව තුළ බොරුකාර ආත්මයක් වන්නෙමි’ යි පැවසී ය. “එවිට උන්වහන්සේ, ‘ඔබ ඔහු පොලඹවනු ඇත; යන්න, එසේ කරන්නැ’ යි පැවසූ සේක. “එබැවින් ඔන්න! ස්වාමින්වහන්සේ දැන් ඔබේ මේ සියලු දිවැසිවරුන්ගේ මුව තුළට බොරුකාර ආත්මයක් තබලා; ස්වාමින්වහන්සේ ඔබට විපත්තිය ප්‍රකාශයට පත් කරලා” යි පැවසී ය. එවිට කෙනානාගේ පුත් සෙදෙකියා නැගිට, මීකායාගේ කම්මුලට ගසා, “ස්වාමින්වහන්සේගේ ආත්මය, නුඹට කතා කරන්නට මා වෙතින් ඉවත් ව ගියේ කුමන මාර්ගයෙන් දැ?” යි ඇසී ය. මීකායා පිළිතුරු දෙමින්, “නුඹ සැඟවෙන්නට ඇතුල් කුටියකට යන දවසේ එය දකිනු ඇතැ” යි කීවේ ය. එවිට ඉශ්‍රායෙල් රජු නියෝගයක් කරමින්, “මීකායා අල්ලා, පුරයේ ආණ්ඩුකාර ආමොන් හා රජුගේ පුත් යෝවාෂ් වෙත ආපසු ගෙන යනු; ‘මා සුරක්ෂිත ව එන තුරු මොහු සිර ගෙයි ලා තබනු; මොහුට රොටි හා වතුර මිස වෙන කිසිවක් නො දිය යුතු ය’ කියා රජු පවසතැයි ඔවුන්ට කියන්නැ” යි කීවේ ය. එවිට මීකායා, “ඔබ සුරක්ෂිත ව ආපසු ආවොත්, ස්වාමින්වහන්සේ මා තුළින් කතා නො කළ සේකැ” යි පැවසී ය. ඔහු නැවතත්, “සියලු ජනයෙනි, අහගන්නැ” යි ද පැවසී ය.

Free Reading Plans and Devotionals related to 1 රාජාවලිය 22:17-28