YouVersion Logo
Search Icon

1 රාජාවලිය 2

2
සාලමොන්ට පිය උපදෙස්
1දාවිත් මියැදෙන කාලය ආසන්න විය. ඔහු තම පුත් සාලමොන්ට මෙසේ අණ කළේ ය:
2“මේ මිහි මත සියල්ලන් යන මාර්ගයේ මා යන්නට ළඟයි. දැන් ඔබ ශක්තිමත් වන්න. පුරුෂයකු මෙන් සිටින්න. 3ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේගේ නීති පිළිපදින්න: උන්වහන්සේගේ මාර්ගවල හැසිරෙන්න; මෝසෙස්ගේ ව්‍යවස්ථාවේ සඳහන් පරිදි උන්වහන්සේගේ නියෝග හා ආඥා ද උන්වහන්සේගේ නියමයන් හා පනත් ද පිළිපදින්න; එසේ කළ යුත්තේ, ඔබ කරන හැම දෙයකදී හා ඔබ යන එන කොතැනකදී ඔබ සමෘද්ධිමත් වන පිණිසත්, 4ස්වාමින්වහන්සේ මට පැවසූ පරිදි, ‘ඔබෙන් පැවත එන්නන් තමන්ගේ ජීවිත පැවැත්ම ගැන පරෙස්සම් වන්නේ නම්, තම මුළු හෘදයෙන් හා මුළු ආත්මයෙන් මා ඉදිරියේ විශ්වසනීය ව හැසිරෙන්නේ නම්, ඉශ්‍රායෙල් සිහසුන මත හිඳ ගැනීමට ඔබට මිනිසකු නැති වන්නේ නැත’ යන වචන උන්වහන්සේ ඉටු කරන පිණිසත් ය.
5“තවද සෙරූයාගේ පුත්‍ර යෝවාබ් මට කළ දේ, එනම් ඉශ්‍රායෙල් හමුදාපතීන් දෙදෙනකු වන නේර්ගේ පුත්‍ර අබ්නේර්ට හා යෙතෙර්ගේ පුත්‍ර අමාසාට ඔහු කළ දේ ඔබ දනී. ඔහු ඔවුන් ඝාතන කොට, සාමය ඇති කාලයේදී පවා යුද්ධයකදී මෙන් ඔවුන්ගේ ලේ වගුරුවා, ඔහු ඒ ලේ තම ඉඟ බැඳි බඳ පටියේ හා පයලන වහන්වල තවරාගෙන ඇත; 6එබැවින් ඔබගේ ප්‍රඥාවට අනුව ඔහු ගැන කටයුතු කරන්න. එහෙත් ඔහුගේ පැසුණු හිස, සාමයෙන් මිනී වළට යන්නට ඉඩ නො හරින්න.
7“එහෙත් ගිලියාදීය බර්සිල්ලයිගේ පුත්‍රයින්ට දයාවන්ත වන්න. ඔබගේ මේසයේ අහර ගන්නන් අතරේ ඔවුන් ද සිටීවා; මන්ද ඔබේ සහෝදර අබ්සලොම් වෙතින් මා පලා යද්දී ඔවුන් පැමිණ මට සැලකුවේ එසේයි.
8“තවද බහූරීම්හි බෙන්යමින් වංශික ගේරාගේ පුත් ෂිමෙයි ඔබ ළඟ ය. මා මහනයිම්ට ගිය දවසේ, ඔහු මට පරුෂ ලෙස ශාප කළේ ය. පසුව ඔහු යොර්දානය ළඟදී මා මුණගැසෙන්නට ආ කල, ‘කඩුවෙන් මා නුඹ මරන්නේ නැතැ’ යි ස්වාමින්වහන්සේගේ නාමයෙන් මම ඔහුට දිවුළෙමි. 9එහෙත් දැන්, ඔහු නිර්දෝෂී හැටියට නො සලකන්න. ඔබ ප්‍රඥාවත් මිනිසෙක්; ඔහුට කළ යුතු දේ ඔබ දනී. ඔහුගේ පැසුණු හිස ලෙයින් යුතු ව මිනී වළට පමුණුවන්නැ” යි පැවසී ය.
10ඉන්පසු දාවිත් තම පියවරුන් සමඟ සැතපුණේ ය. ඔහු දාවිත් පුරයේ භූමදාන කෙරිණි. 11දාවිත්, ඉශ්‍රායෙල් කෙරෙහි අවුරුදු හතළිහක් රජකම් කළේ ය. අවුරුදු හතක් හෙබ්‍රොන්හි ද අවුරුදු තිස්තුනක් යෙරුසලමෙහි ද ඔහු රජකම් කළේ ය. 12එබැවින් සාලමොන් තම පියා වූ දාවිත්ගේ සිහසුනෙහි අසුන් ගත්තේ ය. ඔහුගේ රාජ්‍යය ස්ථාවර ව ස්ථාපිත විය.
සාලමොන්ගේ රාජ්‍යය ස්ථාවරවීම
13මේ අතර හග්ගීත්ගේ පුත් අදොනීයා, සාලමොන්ගේ මව වූ බැත්ෂෙබා හමුවට ගියේ ය. එවිට ඈ, “ඔබ එන්නේ සාමයෙන් දැ?” යි ඇසුවා ය.
ඔහු පිළිතුරු දෙමින්, “ඔව්, සාමයෙන්” යයි කීවේ ය. 14තවද ඔහු කතා කරමින්, “ඔබට කාරණයක් කියන්නට තිබේ යැ” යි පැවසී ය.
“කියන්නැ” යි ඈ කීවා ය.
15එවිට ඔහු, “ඔබ දන්නා පරිදි රාජ්‍යයේ හිමිකම තිබුණේ මටයි. මුළු ඉශ්‍රායෙල් ජනයා, මා ඔවුන්ගේ රජු වෙතැයි බලා සිටියත්, සියල්ල ම වෙනස් වුණා. රාජ්‍යය මගේ සහෝදරයාට හිමි වුණා; මන්ද එසේ ඔහුට එය හිමි වූයේ ස්වාමින්වහන්සේ වෙතිනි. 16දැන් මම ඔබෙන් එක් ඉල්ලීමක් කරන්නෙමි. එය ප්‍රතික්ෂේප නො කරන්නැ” යි පැවසී ය.
“ඉල්ලන්නැ” යි ඈ පැවසුවා ය.
17ඔහු යළි කතා කරමින්, “ෂූනම්මීය අබිෂග් බිරිඳ කොට මට දෙන ලෙස ඉල්ලා සාලමොන් රජුට කතා කරන්න; ඔහු ඔබේ ඉල්ලීම ප්‍රතික්ෂේප කරන්නේ නැතැ” යි පැවසී ය.
18බැත්ෂෙබා පිළිතුරු දෙමින්, “හොඳයි. මම ඔබ වෙනුවෙන් රජුට කතා කරන්නෙමි” යි කීවා ය.
19අදොනීයා උදෙසා සාලමොන් රජුට කතා කරන්නට බැත්ෂෙබා ගිය කල, රජු ඇය මුණගැසෙන්නට නැගිට, හිස බිමට නමා, ඇයට ආචාර කොට, තම සිහසුනේ හිඳ ගත්තේ ය. රජුගේ මව් බිසව උදෙසා සිහසුනක් පනවා තිබිණි. ඈ ඔහුගේ දකුණු පසින් අසුන් ගත්තා ය.
20ඉන්පසු ඈ, “ඔබෙන් පුංචි ඉල්ලීමක් කරන්නයි ආවේ; එය ප්‍රතික්ෂේප නො කරන්නැ” යි කීවා ය.
රජු පිළිතුරු දෙමින්, “මෑණියනි, ඉල්ලන්න; මා ඔබ ප්‍රතික්ෂේප කරන්නේ නැතැ” යි පැවසී ය.
21එබැවින් ඈ, “ඔබේ සහෝදර අදොනීයාට ෂූනම්මීය අබිෂග් විවාහ කර දෙන්නැ” යි ඉල්ලුවා ය.
22සාලමොන් රජු තම මවට පිළිතුරු දෙමින්, “ඔබ අදොනීයා උදෙසා ෂූනම්මීය අබිෂග් පමණක් ඉල්ලන්නේ ඇයි? ඔහු උදෙසා රාජ්‍යයත් ඉල්ලන්න; මොකද ඔහු මගේ වැඩිමල් සහෝදරයා; ඔහු උදෙසා පමණක් නො ව, පූජක අබියාතර් හා සෙරූයාගේ පුත් යෝවාබ් උදෙසාත් ඉල්ලන්නැ” යි කීවේ ය.
23ඉන්පසු සාලමොන් රජු ස්වාමින්වහන්සේගේ නාමයෙන් දිවුරමින්: “මේ ඉල්ලීමට අදොනීයා තම ජීවිතයෙන් වන්දි නො ගෙව්වොත් දෙවියන්වහන්සේ මට එසේ ම ද ඊටත් වැඩි ලෙස ද කරත්වා! 24මගේ පියා වූ දාවිත්ගේ සිංහාසනය මත සුරක්ෂිත ව මා ස්ථාපිත කළාවූත්, පොරොන්දු වූ පරිදි මට වංශයක් සාදා දුන්නාවූත් ස්වාමින්වහන්සේ ජීවත් වන වග සැබෑ සේ ම, අදොනීයා අද දවසේ මරණයට පත් කෙරේ!” යි පැවසී ය. 25එබැවින් සාලමොන් රජු, යෙහෝයාදාගේ පුත්‍ර බෙනායාට නියෝග දුන්නෙන්, ඔහු අදොනීයා ගසා හෙළී ය. ඔහු මළේ ය.
26රජු පූජක අබියාතර්ට කතා කොට, “අනාතොත්හි ඔබේ ඉඩමට ආපසු යන්න. ඔබ මරණයට සුදුස්සෙක්; එහෙත් ඔබ මගේ පියා වූ දාවිත් ඉදිරියේ පරමාධිපති ස්වාමින්වහන්සේගේ කරඬුව ඉසිලූ නිසාත්, මගේ පියාගේ සියලු දුක් කම්කටොලුවලට ඔබ උරදුන් නිසාත් දැන් මා ඔබ මරා දමන්නේ නැතැ” යි පැවසී ය. 27ෂීලෝහි දී ඒලීගේ වංශය ගැන පවසා තිබූ, ස්වාමින්වහන්සේගේ වචනය මෙසේ සම්පූර්ණ කරමින්, සාලමොන්, ස්වාමින්වහන්සේගේ පූජක තනතුරෙන් අබියාතර් ඉවත් කළේ ය.
28එපුවත් යෝවාබ්ට සැල වූ කල, ඔහු ස්වාමින්වහන්සේගේ කූඩාරම වෙත පලා ගොස්, පූජාසනයේ අං අල්ලා ගත්තේ ය. ඔහු අබ්සලොම් සමඟ කුමන්ත්‍රණ නො කළ ද අදොනීයාගේ පැත්ත ගෙන තිබිණි. 29යෝවාබ්, ස්වාමින්වහන්සේගේ කූඩාරම වෙත පලා ගිය වගත්, ඔහු පූජාසනය ළඟ සිටින වගත් සාලමොන් රජුට දන්වනු ලැබිණි. එවිට සාලමොන්, යෙහෝයාදාගේ පුත් බෙනායාට නියෝග කරමින්, “යන්න, ඔහු ගසා හෙළන්නැ” යි පැවසී ය.
30එබැවින් ස්වාමින්වහන්සේගේ කූඩාරමට පිවිසි බෙනායා, යෝවාබ්ට කතා කොට, “ ‘පිටතට එන්න’ කියා රජ පවසන්නේ යැ” යි කීවේ ය.
එහෙත් ඔහු පිළිතුරු දෙමින්, “නැත, මම මෙතැන ම මැරෙන්නෙමි” යි පැවසී ය.
“යෝවාබ් මට පිළිතුරු දුන්නේ ඒ අයුරිනැ” යි බෙනායා, රජුට දැන්වී ය.
31එවිට රජු, බෙනායාට අණ කරමින්, “ඔහු කී ලෙස කරන්න. ඔහු ගසා හෙළා, වළ දමන්න. මෙසේ යෝවාබ් නිකරුණේ වගුළ නිදොස් ලේවල වරද මා වෙතින් ද මගේ පියවංශය වෙතින් ද පහ කර දමන්න. 32ඔව්! ඔහු වැගිරූ ලේ නිසා ස්වාමින්වහන්සේ ඊට ප්‍රතිවිපාක දෙන සේක. මන්ද ඔහු මගේ පියා වූ දාවිත්ගේ අනුදැනුමින් තොර ව, තමාට වඩා යහපත් වූත්, සාධාරණ වූත් මිනිසුන් දෙදෙනකු වූ ඉශ්‍රායෙල් හමුදාවේ හමුදාපති අබ්නේර්ට ද යූදා හමුදාවේ හමුදාපති අමාසාට ද පහර දී, ඔවුන් කඩුවෙන් මරා දැමී ය. 33ඔවුන්ගේ ලේවල අපරාධය යෝවාබ්ගේ හා ඔහුගෙන් පැවත එන්නන්ගේ හිස් පිට සදහට ම රඳන්නේ ය. එහෙත්, දාවිත් හා ඔහුගෙන් පැවත එන්නන් පිටත්, ඔහුගේ රාජ වංශය හා ඔහුගේ සිහසුන පිටත් ස්වාමින්වහන්සේගේ සාමය සදහට පවතින්නේ යැ” යි පැවසී ය.
34යෙහෝයාදාගේ පුත් බෙනායා නැගී ගොස්, යෝවාබ්ට පහර දී, ඔහු මරා දැමී ය. පාළුකරයේ ඔහුට අයත් ඉඩමේ ඔහු තැන්පත් කෙරිණි. 35හමුදාවේ යෝවාබ්ගේ හමුදාපති තනතුරට රජු යෙහෝයාදාගේ පුත් බෙනායා ද අබියාතර්ගේ තනතුරට පූජක සාදෝක් ද පත් කළේ ය.
36ඉන්පසු පණිවුඩ යවා, ෂිමෙයි කැඳවූ රජු ඔහු අමතා, “යෙරුසලමේ ඔබට ගෙයක් හදාගෙන, එහි වාසය කරන්න. අන් කිසි තැනකට ගිය නො හැකියි. 37ඔබ ඉන් පිට වී, කිද්‍රොන් ඔයෙන් එතෙරට යන දවසේ ඔබ මරණයට පත් වන වග නිසැක ව දැනගන්න; ඔබේ ලේ ඔබේ ම හිස පිට වනු ඇතැ” යි පැවසී ය.
38ෂිමෙයි රජුට පිළිතුරු දෙමින්, “ඔබ කී දේ හොඳයි. මා ස්වාමියාණන් වන රජතුමා පැවසූ පරිදි ඔබගේ මෙහෙකරු කරනු ඇතැ” යි පැවසී ය. එසේ ෂිමෙයි යෙරුසලමේ දිගු කලක් නැවතී සිටියේ ය.
39එහෙත් වසර තුනකට පසු, ෂිමෙයිගේ වහලුන් දෙදෙනෙක් ගාත්හි රජු වූ මයකාගේ පුත් ආකීෂ් වෙත පලා ගියහ. “අන්න ඔබේ වහල්ලු ගාත්හි සිටිති” යි ෂිමෙයිට දන්වනු ලැබිණ. 40එවිට ඔහු තම බූරුවාට සෑදල යොදා, තම වහලුන් සොයා ගාත්හි ආකීෂ් වෙත ගියේ ය. ෂිමෙයි පිටත් ව ගොස්, ගාත් වෙතින් තම වහලුන් ආපසු ගෙනාවේ ය.
41ෂිමෙයි, යෙරුසලමේ සිට ගාත් වෙත ගොස්, යළි පැමිණ ඇති වග සාලමොන්ට දන්වනු ලැබිණ. 42එවිට රජු ෂිමෙයි කැඳවා, ඔහුට කතා කොට, “ ‘ඔබ කොතැනක හෝ පිටතට ගිය දවසේ මරණයට පත් වන වග නිසැක ව දැනගන්න’ කියා මා ස්වාමින්වහන්සේගේ නාමයෙන් දිවුරුම් ගෙන, ඔබට අනතුරු ඇඟවූයේ නැද්ද? ඒ අවස්ථාවේ ඔබ මට, ‘ඔබ කී දේ හොඳයි. මම කීකරු වන්නෙමි’ යි පැවසී ය. 43එසේ නම් ඔබ ස්වාමින්වහන්සේට කළ දිවුරුම නො පැවැත් වූයේ මන්ද? මා ඔබට දුන් අණට කීකරු නො වූයේ මන්දැ?” යි පැවසී ය.
44තවද රජු, ෂිමෙයි අමතමින්, “ඔබ මගේ පියා වූ දාවිත්ට කළ සියලු නපුරුකම් ඔබ හොඳින් දනී. දැන් ස්වාමින්වහන්සේ ඔබගේ නපුරුකම් ආපසු ඔබ පිටට හරවන සේක. 45එහෙත් සාලමොන් රජු ආශිර්වාද ලබනු ඇත. දාවිත්ගේ සිංහාසනය ද ස්වාමින්වහන්සේ අබියස සදහට ම සුරැකි ව පවතිනු ඇතැ” යි පැවසී ය.
46ඉන්පසු රජු යෙහෝයාදාගේ පුත් බෙනායාට නියෝග කළෙන්, ඔහු පිටතට ගොස්, ෂිමෙයිට පහර දී ඔහු මරා දැමී ය.
මෙසේ රාජ්‍යය සාලමොන් අතේ ස්ථාවර ව තහවුරු විය.

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in