YouVersion Logo
Search Icon

1 රාජාවලිය 18:17-39

1 රාජාවලිය 18:17-39 SCV

ආහාබ්, එලියා දුටු කල, “ආ! ඉශ්‍රායෙල් කැලඹිලිකාරයා, මේ නුඹ දැ?” යි ඇසී ය. එලියා පිළිතුරු දෙමින්, “ඉශ්‍රායෙල් කැලඹුවේ මා නො වෙයි; එසේ කළේ නුඹයි, නුඹේ පියවංශයයි. ස්වාමින්වහන්සේගේ ආඥා අත්හැර, බාල් දෙවිවරුන් පසු පස ගියේ නුඹයි. දැන් මා මුණගැසෙන්නට ඉශ්‍රායෙල් දේශය පුරා සිටින ජනයා කර්මෙල් කන්දට රැස් කරවන්න. බාල් දෙවියාගේ දිවැසිවරුන් හාරසියපනස් දෙනා හා යෙසෙබෙල්ගේ මේසයේ කෑම කන අෂේරා දේවතාවිගේ දිවැසිවරුන් හාරසිය දෙනා ද කැඳවන්නැ” යි පැවසී ය. එවිට ආහාබ් ඉශ්‍රායෙල් පුරා පණිවුඩ යවා, ඒ දිවැසිවරුන් කර්මෙල් කන්දට එක් රැස් කරවී ය. එලියා ජනයා ඉදිරියට ගොස්, “නුඹලා තව කොපමණ කල් සිතුවිලි දෙකක් අතරේ වැනෙනවා ද? ස්වාමින්වහන්සේ දෙවියන්වහන්සේ නම්, උන්වහන්සේ අනුගමන කරන්න; බාල් දෙවියන්වහන්සේ නම්, ඔහු අනුගමන කරන්නැ” යි පැවසී ය. එහෙත් ජනයා ඔහුට කිසි පිළිතුරක් දුන්නේ නැත. එවිට එලියා ඔවුන් අමතමින්, “ස්වාමින්වහන්සේගේ දිවැසිවරුන්ගෙන් දැන් ඉතිරි ව සිටින්නේ මා පමණයි. එහෙත් බාල් දෙවියාට නම්, දිවැසිවරුන් හාරසියපනස් දෙනෙක් සිටිති. අපට ගොනුන් දෙදෙනකු ගෙනේවා. උන්ගෙන් එකකු ඔවුන් තෝරා ගෙන, ඌ කැබලිවලට කපා, දර පිට තබත්වා. එහෙත් ඊට ගිනි නො තබත්වා. මා අනෙක් ගොනා සූදානම් කර, දර පිට තබන නමුත්, ඊට ගිනි තබන්නේ නැහැ. නුඹලාගේ දෙවියන්ගේ නාමයෙන් නුඹලා කන්නලව් කරනු. මා, ස්වාමින්වහන්සේගේ නාමයෙන් කන්නලව් කරනවා. ගින්නෙන් ප්‍රතිචාර දක්වන දෙවියන් සැබෑ දෙවියන්වහන්සේ වන්නේ යැ” යි පැවසී ය. එවිට මුළු ජනයා, “ඔබ කී දේ අගේ යැ” යි කීහ. එවිට එලියා බාල් දෙවියාගේ දිවැසිවරුන්ට කතා කොට, “නුඹලා බොහෝ දෙනකු නිසා ගොනකු තෝරා ගෙන, පළමුවෙන් එය පිළියෙල කරපල්ලා. ඉන්පසු නුඹලාගේ දෙවිවරුන්ගේ නාමයෙන් යාච්ඤා කරපල්ලා. ඒත් ඊට ගිනි නො තබල්ලා” යි පැවසී ය. ඔවුහු තමන්ට දුන් ගොනා රැගෙන, ඌ සූදානම් කළහ. ඉන්පසු ඔවුහු උදය පටන් මද්දහන තෙක් බාල් දෙවියාගේ නමින් කන්නලව් කළහ. “අහෝ බාල් දෙවියනි, අපට පිළිතුරු දුන මැනව” යි ඔවුහු මොර ගැසූහ. එහෙත් කිසිදු ප්‍රතිචාරයක් නො වී ය. පිළිතුරු දුන් කිසිවකු නැත. ඔවුහු තමන් සාදා තිබූ පූජාසනය වටා යමින්, නැටූහ. මද්දහනේදී එලියා ඔවුන්ට සරදම් කරන්නට පටන් ගත්තේ ය. “හඬ නගා මොරගසාපල්ලා. සැබවින් ම ඔහු දෙවි කෙනෙක! ඔහු කල්පනා කරමින් හෝ දොට්ට පිලට ගොසින් ඇති; නැති නම් ගමනක් ගොසින් විය හැකියි. ඇතැම් විට ඔහු නිදනවා ඇති; ඔහු අවදි කරවන්නට ඕනෑ” යි පැවසී ය. එබැවින් ඔවුහු උස් හඬින් මොරගෑහ. ඔවුහු තම චාරිත්‍ර ලෙස ලේ ගලන තුරු කඩුවලින් හා හෙල්ලවලින් තමන් ම කපා ගත්හ. මද්දහන ද පසු විය. සවස යාග පූජා ඔප්පු කරන වේලාව දක්වා ම ඔවුහු තමන්ගේ උමතු දිවැස් වැකි පැවසීමෙහි නිරත වූහ. එහෙත් කිසිදු ප්‍රතිචාරයක් නො වී ය. කිසිවකු පිළිතුරු දුන්නේ නැත; අවධානය යොමු කළේ ද නැත. එවිට එලියා මුළු ජනයාට කතා කොට, “මා ළඟට එන්නැ” යි කීවේ ය. ඔවුහු ඔහු ළඟට ආවෝ ය. ගරා වැටී තිබූ ස්වාමින්වහන්සේගේ පූජාසනය ඔහු පිළිසකර කළේ ය. එලියා ගල් දොළොසක් ගත්තේ, “ඔබගේ නම ඉශ්‍රායෙල් වන්නේ යැ” යි යාකොබ් වෙත පැමිණි ස්වාමින්වහන්සේගේ වචනය ලෙස ඔහුගෙන් පැවත ආ ගෝත්‍ර වංශ එකකට එක ගලක් බැගිනි. ඔහු ඒ ගල් ගෙන, ස්වාමින්වහන්සේගේ නාමයට පූජාසනයක් තනා, ඒ වටා බීජ නැළි දෙකක් අල්ලන අගලක් කැපී ය. ඔහු දර පිළිවෙළට තබා, ගොනා කැබලිවලට කපා, දර පිට තැබී ය. ඉන්පසු ඔහු ඔවුන් අමතමින්, “විශාල භාජන හතරකට වතුර පුරවා, පූජාව පිටත්, දර පිටත් වත් කරන්නැ” යි කී ය. ඔවුන් එසේ කළ විට, “යළිත් එසේ කරනු” යි ඔහු කීවේ ය; ඔවුහු නැවතත් එසේ කළහ. “තුන්වෙනි වරටත් එසේ කරන්නැ” යි ඔහු කී කල, ඔවුහු තුන් වන වරටත් එසේ කළහ. පූජාසනය වටේට වතුර ගලා ගියේ ය. අගල ද පිරුණේ ය. යාග පූජා වේලාවේදී දිවැසිවර එලියා ළඟා වී යාච්ඤා කරමින්, “අහෝ ස්වාමින්වහන්ස, ආබ්‍රහම්ගේ ද ඊසාක්ගේ ද ඉශ්‍රායෙල්ගේ ද දෙවියන්වහන්ස, ඉශ්‍රායෙල්හි දෙවියන්වහන්සේ ඔබ වගත්, මා ඔබේ සේවකයා වගත්, මා මේ සියල්ල කළේ ඔබගේ අණ පිට වගත් අද දවසේ දැනගනු ලැබේවා! මට පිළිතුරු දුන මැනව, අහෝ ස්වාමින්වහන්ස, ඔබවහන්සේ ස්වාමින්වහන්සේ වන දෙවියන්වහන්සේ වගත්, මේ ජනතාවගේ හදවත් යළි හරවා ගන්නේ ඔබවහන්සේ ම වගත් මොවුන් දැනගන්නා පිණිස, මට පිළිතුරු දුන මැනව” යි පැවසී ය. එවිට ස්වාමින්වහන්සේගේ ගින්න පතිත ව, යාග පූජාව, දර, ගල් හා පස් දවා ලූ අතර අගලේ තිබූ වතුරත් වියළවා දැමී ය. මුළු ජනයා ඒ දැක, මුණින් තලා වැටී, “ස්වාමින්වහන්සේ ම දෙවියන්වහන්සේ ය! ස්වාමින්වහන්සේ ම දෙවියන්වහන්සේ යැ!” යි මොර ගැසූහ.