YouVersion Logo
Search Icon

1 රාජාවලිය 18:1-19

1 රාජාවලිය 18:1-19 SCV

බොහෝ දවසකට පසු, ස්වාමින්වහන්සේගේ වචනය තුන් වන අවුරුද්දේ එලියා වෙත පැමිණියේ, “යන්න, ආහාබ් ඉදිරියේ පෙනී සිටින්න. මම දේශයට වැස්ස එවන්නෙමි” යි කියමිණ. එබැවින් එලියා, ආහාබ් හමුවට ගියේ ය. තවද සමාරියේ සාගතය බලවත් ව පැවතිණි. ආහාබ් තම මන්දිරය බාර ඔබදියා කැඳවී ය. (ඔබදියා, ස්වාමින්වහන්සේට මහත් සේ භය පක්ෂපාතී ව සිටි කෙනෙකි. යෙසෙබෙල් ස්වාමින්වහන්සේගේ දිවැසිවරුන් ඝාතන කරද්දී, ඔබදියා දිවැසිවරුන් සිය දෙනකු, පනහ බැගින් ගුහා දෙකක සඟවා, ඔවුන්ට කෑමත්, වතුරත් සැපයී ය.) ඔබදියා ඇමතූ ආහාබ්, “දේශය පුරා ඇති සියලු දිය උල්පත් හා මිටියාවත් වෙත යන්න. අපගේ අශ්වයින් හා කොටළුවන් රැක ගන්නට තෘණ ටිකක් සොයාගන්න සමහර විට අපට හැකි වේවි; එවිට අපේ සතුන් අහිමි වෙන්නේ නැතැ” යි පැවසී ය. එබැවින් ඔවුහු දේශය පුරා යන්නට කොටසක් වෙන් කර ගත්හ; ආහාබ් එක් දිසාවකට ද ඔබදියා වෙනත් දිසාවකට ද ගියේ ය. ඔබදියා මෙසේ ගමන් ගනිද්දී, ඔහුට එලියා මුණගැසුණේ ය. ඔබදියා ඔහු හැඳින, බිමට නැමී, “ඇත්තට ම මේ ඔබ ද එලියා මා ස්වාමිනි?” යි ඇසී ය. ඔහු පිළිතුරු දෙමින්, “ඔව් මා තමයි; ගොසින්, ‘එලියා මෙහි සිටී’ ය කියා ඔබේ ස්වාමියාට කියන්නැ” යි පැවසී ය. එවිට ඔබදියා, “මා මොන වරදක් කළාට ද ඔබගේ දාසයා වන මා මරා දමන පිණිස ආහාබ් අතට මා පාවා දෙන්නට යන්නේ? ඔබගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ ජීවත් වන වග සැබෑ සේ ම, මගේ හාම්පුතා ඔබ සොයන්නට නො යැවූ ජාතියක්වත්, රාජ්‍යයක්වත් නැත. ඔබ නැති වග යම් ජාතියක් හෝ රාජ්‍යයක් හෝ පැවසූ විට, ඔවුන්ට ඔබ සම්බ නො වූ වගට ඔහු ඔවුන්ගෙන් දිවුරුම් පවා ගත්තේ ය. එහෙත් දැන්, ඔබ මට කියන්නේ, ‘එලියා මෙහි සිටී’ කියා ගොස්, මගේ හාම්පුතාට කියන්න කියායි. මා ඔබෙන් ඉවත් ව ගිය විගස, ස්වාමින්වහන්සේගේ ආත්මයාණන් කොතැනකට ඔබ ගෙන යනවාදැයි මා දන්නේ නෑ. මා ගොස්, ආහාබ්ට කී පසු, ඔහුට ඔබ සම්බ නො වුණහොත්, ඔහු මා මරනු ඇත. එහෙත් ඔබගේ සේවක මා, මගේ බාල වියේ පටන් ස්වාමින්වහන්සේට භය ඇතුව සිටි කෙනෙක්; මා ස්වාමිනි, යෙසෙබෙල් ස්වාමින්වහන්සේගේ දිවැසිවරුන් මරා දමද්දී, මා කළ දේ ඔබ අසා නැද්ද? මා ස්වාමින්වහන්සේගේ දිවැසිවරුන් සිය දෙනකු පනහ බැගින් ගුහා දෙකක සඟවා, ඔවුන්ට ආහාරත්, වතුරත් සපයා දුන් වග. දැන් ඔබ මට කියන්නේ, ‘මෙන්න, එලියා මෙහි සිටීය’ කියා මගේ ස්වාමියාට ගොස් කියන්න කියායි; ඔහු මා මරා දමනු ඇතැ” යි කී ය. එලියා පිළිතුරු දෙමින්, “මා සේවය කරන සේනාංකවල ස්වාමින්වහන්සේ ජීවත් වන සේ ම, අද මම ආහාබ් ඉදිරියේ සැබවින් ම පෙනී සිටින්නෙමි” යි පැවසී ය. එබැවින් ඔබදියා, ආහාබ් හමුවීමට ගොස්, ඔහුට ඒ වග දැන්වී ය. ආහාබ්, එලියා මුණගැසීමට ගියේ ය. ආහාබ්, එලියා දුටු කල, “ආ! ඉශ්‍රායෙල් කැලඹිලිකාරයා, මේ නුඹ දැ?” යි ඇසී ය. එලියා පිළිතුරු දෙමින්, “ඉශ්‍රායෙල් කැලඹුවේ මා නො වෙයි; එසේ කළේ නුඹයි, නුඹේ පියවංශයයි. ස්වාමින්වහන්සේගේ ආඥා අත්හැර, බාල් දෙවිවරුන් පසු පස ගියේ නුඹයි. දැන් මා මුණගැසෙන්නට ඉශ්‍රායෙල් දේශය පුරා සිටින ජනයා කර්මෙල් කන්දට රැස් කරවන්න. බාල් දෙවියාගේ දිවැසිවරුන් හාරසියපනස් දෙනා හා යෙසෙබෙල්ගේ මේසයේ කෑම කන අෂේරා දේවතාවිගේ දිවැසිවරුන් හාරසිය දෙනා ද කැඳවන්නැ” යි පැවසී ය.

Free Reading Plans and Devotionals related to 1 රාජාවලිය 18:1-19