1 රාජාවලිය 13:1-34
1 රාජාවලිය 13:1-34 SCV
පූජාවක් ඔප්පු කරන්නට යෙරොබොවම් පූජාසනය ළඟ සිටගෙන සිටියදී, මෙන්න! ස්වාමින්වහන්සේගේ වචනයට අනුව දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයෙක් යූදාහි සිට බෙතෙල් වෙත ආවේ ය. ඔහු ස්වාමින්වහන්සේගේ වචනයට අනුව පූජාසනයට එරෙහිව මොර ගසමින්, “එම්බා පූජාසනය, පූජාසනය! ස්වාමින්වහන්සේ මෙසේ පවසන සේක: ‘මෙන්න! යොෂීයා නමින් පුත්‍රයකු දාවිත් වංශයට උපදින්නේ ය. ඔහු දැන් මෙහි පූජා ඔප්පු කරන උස් තැන්හි පූජකයින් නුඹ පිට දවා දමනු ඇත. නුඹ පිට මිනිස් ඇටකටු දවාලනු ඇතැ’ යි” කීවේ ය. ඒ දවසේ දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයා ලකුණක් දුන්නේ ය: “ස්වාමින්වහන්සේ ප්‍රකාශ කොට ඇති ලකුණ මෙන්න: පූජාසනය පැළී, ඒ පිට ඇති අළු විසිර වැටීම යැ” යි කීවේ ය. බෙතෙල්හි පූජාසනයට එරෙහිව දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයාගේ මොර ගැසීම ඇසූ යෙරොබොවම් රජු, පූජාසනය වෙතින් තම අත දිගු කර, “ඔහු අල්ලා ගනිව්!” යි පවසමින්, ඒ මිනිසා දෙසට දිගු කළ විට, ඔහුගේ අත වියැළී අප්‍රාණික ව ගියෙන්, ඔහුට එය යළි තමා වෙතට ඇදගත නො හැකි විය. තවද ස්වාමින්වහන්සේගේ වචනය පරිදි, දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයා විසින් දෙන ලද ලකුණ හැටියට පූජාසනය පැළී වෙන් වී, එහි වූ අළු විසිරී ගියේ ය. එවිට රජු දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයා අමතා, “මගේ අත සුව වන පිණිස, නුඹේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේට කන්නලව් කොට, මා උදෙසා යාච්ඤා කරන්නැ” යි පැවසී ය. එබැවින් දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයා ස්වාමින්වහන්සේට කන්නලව් කළේ ය. එවිට රජුගේ අත සුව වී, ප්‍රකෘතිමත් විය. රජු, දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයාට කතා කොට, “කෑම ටිකක් කන්නට මා සමඟ ගෙදර එන්න. මම ඔබට තෑග්ගක් දෙන්නම්” යි කීවේ ය. එහෙත් දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයා රජුට පිළිතුරු දෙමින්, “ඔබේ වස්තුවෙන් භාගයක් දුන්නත්, මා ඔබ සමඟ එන්නේ නැත. මේ ස්ථානයේදී මා රොටි කන්නේවත්, වතුර බොන්නේවත් නැත; මන්ද ස්වාමින්වහන්සේගේ වචනයෙන් මට අණ කර ඇත්තේ, ‘ඔබ රොටි කෑමවත්, වතුර බීමවත්, පැමිණි මාර්ගයෙන් ආපසු යෑමවත් නො කළ යුතු ය’ යනුවෙනි” යි කීවේ ය. එබැවින් ඔහු බෙතෙල් වෙත පැමිණි මාර්ගයෙන් ආපසු නො ගොස්, වෙනත් මාර්ගයකින් ගියේ ය. තවද බෙතෙල්හි වියපත් දිවැසිවරයෙක් වාසය කළේ ය. ඔහුගේ පුත්තු අවුත්, දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයා එදා බෙතෙල්හි දී කළ සියල්ල ඔහුට පැවසූහ. ඔවුහු ඒ මනුෂ්‍යයා රජුට පැවසූ වචන ද තම පියාට කීහ. එවිට ඔවුන්ගේ පියා, “ඔහු ගියේ කවර මාර්ගයෙන් දැ?” යි විමසී ය. යූදා සිට පැමිණි දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයා ගිය මාර්ගය ඔහුගේ පුත්තු ඔහුට පෙන්වූහ. එබැවින් ඔහු තම පුතුන් අමතා, “බූරුවාට සෑදලය දමා මට දෙන්නැ” යි කී ය. ඔවුහු බූරුවාට සෑදලය යොදා, ඔහුට දුන් කල, ඔහු ඌ පිට නැගී, දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයා පසු පස ගියේ ය. ඔහු ඒලා ගහක් යට හිඳගෙන සිටිනු ඔහුට හමු වූයෙන්, “යූදා සිට පැමිණි දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයා ඔබ දැ?” යි ඇසී ය. “ඒ මම” යැයි ඔහු පිළිතුරු දුන්නේ ය. එබැවින් දිවැසිවරයා ඔහු අමතා, “මා සමඟ ගෙදර අවුත්, කෑම කන්නැ” යි කීවේ ය. දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයා පිළිතුරු දෙමින්, “ආපසු හැරී ඔබ සමඟ යන්නටවත්, මේ ස්ථානයේදී ඔබ සමඟ රොටි කන්නටවත්, වතුර බොන්නටවත් මට නුපුළුවන. මන්ද ස්වාමින්වහන්සේගේ වචනයෙන් මට කියා ඇත්තේ, ‘ඔබ රොටි නො කා, වතුර නො බී, ඔබ ආ මාර්ගයෙන් නැවත නො යා යුතු ය’ යනුවෙනි” යි කීවේ ය. වියපත් දිවැසිවරයා එවිට, “ඔබ මෙන් මාත් දිවැසිවරයෙක්. දේව දූතයෙක් ස්වාමින්වහන්සේගේ වචනයෙන් මට කතා කොට, ‘ඔබ ඔබේ ගෙදරට ඔහු ආපසු කැඳවාගෙන යන්න. එවිට ඔහුට රොටි කන්නටත්, වතුර බොන්නටත් පුළුවන්’ කියා කීවේ යැ” යි පැවසී ය. එහෙත් ඔහු ඔහුට කීවේ මුසාවකි. එබැවින් දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයා ඔහු සමඟ ආපසු අවුත්, ඔහුගේ නිවසේදී කෑවේ ය; බීවේ ය. ඔවුන් මේසයේ වාඩි වී සිටිද්දී, ඔහු ආපසු කැඳවාගෙන ආ වියපත් දිවැසිවරයා වෙත ස්වාමින්වහන්සේගේ වචනය පැමිණියේ ය. ඔහු යූදා සිට පැමිණ සිටි දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයාට මොර ගසමින්, “ස්වාමින්වහන්සේ මෙසේ පවසන සේක: ‘ඔබ ස්වාමින්වහන්සේගේ වචනයට අකීකරු වී ඇත. ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ ඔබට දුන් ආඥාව ඔබ රක්ෂා කළේ නැත. යම් ස්ථානයකදී රොටි කන්නටත්, වතුර බොන්නටත් එපා යයි ඔබට උන්වහන්සේ පැවසූ සේක් ද, රොටි කන්නටත්, වතුර බොන්නටත් ඔබ එතැනට ආපසු හැරී ආවේ ය. එබැවින් ඔබේ මළසිරුර ඔබේ පියවරුන්ගේ සොහොනේ තැන්පත් කරනු ලබන්නේ නැතැ’ යි” පැවසී ය. දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයා කා බී, නිම වූ කල, ඔහු ආපසු කැඳවාගෙන ආ දිවැසිවරයා ඔහු උදෙසා තම බූරුවාට සෑදලය දමා දුන්නේ ය. ඔහු තම ගමන යන කල, පාරේදී සිංහයෙක් මුණ ගැසිණි. ඌ ඔහු මරා, ඔහුගේ සිරුර පාරේ හෙළා දැමී ය. බූරුවාත්, සිංහයාත් ඒ දෙපස සිටගෙන වුන්හ. එය පසු කර ගිය මිනිස්සු ඇතැම් දෙනෙක්, මළසිරුර පාරේ වැටී තිබෙනු ද මළසිරුර අසල සිංහයා සිටගෙන සිටිනු ද දැක, එපුවත මහලු දිවැසිවරයා විසූ පුරවරයට දැන්වූහ. ඔහු ගිය මාර්ගයෙන් ඔහු ආපසු කැඳවාගෙන ආ දිවැසිවරයා මෙය අසා, “ඒ, ස්වාමින්වහන්සේගේ වචනයට අකීකරු වූ දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයායි. ඔහුට අනතුරු අඟවා තිබූ ස්වාමින්වහන්සේගේ වචනය ලෙස, ස්වාමින්වහන්සේ සිංහයාට ඔහු හසුකර දුන් සේක. ඌ ඔහු ඉරා, මරා දමා ඇතැ” යි පැවසී ය. දිවැසිවරයා තම පුතුන් අමතා, “බූරුවාට සෑදලය දමා දෙන්නැ” යි පැවසී ය. ඔවුහු එසේ කළහ. ඉන්පසු ඔහු පිටත් ව ගියේ ය. මළසිරුර මාර්ගයේ වැටී තිබෙනු ද ඒ දෙපස බූරුවා හා සිංහයා සිටගෙන සිටිනු ද ඔහුට සම්බ විය. සිංහයා මළසිරුර කාලා තිබුණේවත්, බූරුවා ඉරා දමා තිබුණේවත් නැත. එබැවින් දිවැසිවරයා, දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයාගේ මළසිරුර ඔසවාගෙන, එය බූරුවා පිට තබා, තම පුරවරය වෙත ගෙනාවේ ය. ඔහු එසේ කළේ ඔහු ගැන වැලපෙන පිණිසත්, ඔහු භූමදාන කරන පිණිසත් ය. ඉන්පසු ඔහු එම මළසිරුර තම සොහොනේ තැන්පත් කළේ ය. ඔවුහු, “අහෝ මගේ සහෝදරය!” කියමින් ඔහු ගැන වැලපුණහ. ඔහු වැළලීමෙන් පසු, ඔහු තම පුතුන් අමතා, “මා මැරුණාම දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයා වැළලූ සොහොනේ මා ද වළලන්න; මගේ ඇටකටු ඔහුගේ ඇටකටු අසල තබන්න. මන්ද බෙතෙල්හි පූජාසනයට එරෙහිවත්, සමාරිය නගර උස් තැන්වල සිද්ධස්ථානවලට එරෙහිවත් ස්වාමින්වහන්සේගේ වචනයට අනුව ඔහු ප්‍රකාශ කළ පණිවුඩය සැබවින් ම ඉටු වන්නේ යැ” යි පැවසී ය. මේ සිදුවීමෙන් පසු වුව ද, යෙරොබොවම් තම නපුරු මාර්ග අත්හැරියේ නැත. එහෙත් ඔහු නැවත උස් තැන් පුදසුන්වලට නා නා විධ මිනිසුන් අතරින් පූජකයින් පත් කළේ ය. පූජකයකු වීමට කැමති කවරකු වුව ද, ඔහු ඒ තැනැත්තා උස් තැන් පුදසුන් සඳහා කැප කළේ ය. එම කාරණය යෙරොබොවම් පියවංශයට, බිඳ වැටී මිහි පිටින් විනාශවීමට හේතු වූ පාපයක් විය.





